sinharaja-forest

සිංහරාජ අඩවියේ සුවිශේෂී වනාන්තර ප්‍රදේශයක් වන දෙල්ගොඩ රක්ෂිතය හා සම්බන්ධ අක්කර 143ක වනාන්තර භූමිය ව්‍යාජ ඔප්පු සකස් කරගත් පිරිසක් මහා පරිමාණයෙන් එළිපෙහෙළි කරමින් තේ වතාව ව්‍යාප්ත කරමින් සිටිතැයි පරිසරවේදීහු චෝදනා කරති.   මේ වනවිට අක්කර 10කට වඩා වැඩි භූමි ප්‍රදේශයක් එළිපෙහෙළි කිරීමට ලක්කර ඇති අතර අක්කර 143ක් සඳහා ඔප්පු සකසා ගෙන මෙසේ එළි කිරිම් කරගෙන යන බව තමන් එම ප්‍රදේශයේ කළ සොයා බැලීම්වලදී හෙළිවී යැයි ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ කැඳවුම්කරු සජීව චාමිකර මහතා පැවසීය.
 


මෙම එළිකිරීම් ආරම්භ කර ඇති අක්කර දහයකට ආසන්න ප්‍රදේශය කුකුළේ ගඟ හා සම්බන්ධ කුඩව ගගේ ප්‍රධාන ජල පෝෂක වනාන්තර පද්ධතිය යැයිද හෙතෙම කියා සිටියේය.  කලවානේ පදිංචිකරුවකු හා පානදුර මතුගම  නුවර හා කොළඹ පදිංචිකරුවන් පිරිසක් මෙම ඔප්පු සකස්කරගෙන ඇතැයිද මෙකී වනාන්තරය සිංහරාජයට සම්බන්ධ කිරීමේ කටයුතු සිදුකෙරෙමින් පැවැතියදී මෙසේ අල්ලා ගැනීමට පියවර ගෙන ඇතැයිද චමිකර මහතා කීය.

1988 අංක 3 දරන ජාතික උරුම වනභූමි පනතේ 2 වැනි වගන්තියට අනුව 1988 ඔක්තෝම්බර් 21 වැනිදා අංක 528/14 දරන ගැසට් නිවේදනය මගින් හෙක්ටයාර 11,187ක වනාන්තර ප්‍රදේශයක් සිංහරාජ ජාතික උරුම වන භූමිය  ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර මෙම වනාන්තරයද එහි එක් කොටසකි.  2009 අංක 65 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥා පනතේ 3 වැනි වගන්තියට අනුව ප්‍රකාශිත 2019 නොවැම්බර් 20 වැනිදා අංක 2150/31 දරන ගැසට් නිවේදනය මගින් සිංහරාජ ජාතික වනභූමිය හා ඒ වටා පිහිටි වනාන්තර හෙක්ටයාර 36,475ක් සිංහරාජ වනරක්ෂිතය ලෙස ප්‍රකාශයට පත්කර විශාල වනාන්තර පද්ධතියකට ආරක්ෂාව ලබාදී ඇති අතර එම කොටසටද මෙම වනාන්තරය  ප්‍රකාශිතය.




 මීට අමතරව මෙම රක්ෂිත ප්‍රදේශ ආවරණය වන භූමි ප්‍රදේශ හා ඒ වටා කලාපය 1951 අංක 25 දරන පස සංරක්ෂණ පනතේ 3 වැනි වගන්තියට අනුව 2008 මැයි 22 වැනිදා අංක 1550/9 දරන ගැසට් නිවේදනය මගින් පස සංරක්ෂණ කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත්තේ මේ කලාපය කඳුවැටි සහිත නායයාමේ  අවදානමක් පවතින කලාපයක් වීම හේතුවෙනි.   ඒ අනුව ජාතික පාරිසරික පනත ඇතුළු අණපනත් ගණනාවක් උල්ලංඝනය කරමින් මෙම වන විනාශය සිදුකරන බවත් එකී වන සංහාරය සඳහා කිසිදු රාජ්‍ය ආයතනයක අවසර නොමැති අතර ඔවුන් විසින් සකසා ඇති ඔප්පුද ව්‍යාජ ඒවා බව තමන් තහවුරු කර ගත් බවත් සජීව චාමිකර මහතා පැවැසීය.