ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තවමත් බිම ඇනී නැති නමුත් මේ යන ක්‍රමයට ගියොත් ක්‍රිකට් ක්‍රීඩාව මීට වඩා නරක තත්වයට යනවා මිස හොඳ තත්ත්වයට එන්නේ නැතැයි තමන් ඉතා වගකීමේන් ප්‍රකාශ කරන බව 1996 ලෝක කුසලාන දිනාගත් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග මහතා ඊයේ (17 ) වැනිදා පැවසීය. රණතුංග මහතා එසේ කීවේ 1996 ලෝක කුසලාන ජයග්‍රහණයේ රිදී ජුබිලිය සැමරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී පැවැති රාජ්‍ය උත්සවය අමතමිනි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය ඊයේ පෙරවරුවේදී පැවැත්විණ.
ජාතික උත්සවයකදී මෙවැන්නක් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයාගෙන් සමාව ඉල්ලා සිටින බවත්, එසේ නොකළේ නම් ලෝක කුසලාන ජයග්රහණයෙන් පසුව වසර 25 ක් ගතවී ගියත් 96 ක්‍රීඩකයන්ට ආදරේ කරන ක්‍රිකට් ලෝලීන් හමුවේ තමන් ද වැරදිකාරයෙක් වන බවත් රණතුංග මහතා වැඩිදුරටත් කීවේය. එබැවින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දැනට වැටී තිබෙන අගාධයෙන් ගොඩගෙන, අගමැතිවරයාත් ක්‍රීඩා ඇමතිවරයාගේත්, නායකත්වයෙන් නිවැරදි පාලනයක් සමග ඉදිරියට යාමට කටයුතු සලස්වා දෙන්නයි හිටපු ශ්‍රී ලංකා නායකයා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය.
අරලියගහ මන්දිරයේදී පැවැති මෙම උත්සවයට 1996 ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකයෝ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝත්, 1996 සිට මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සිටි නිලධාරීහු රැසක් මෙන්ම අමාත්‍ය මණ්ඩලයේ කිහිප දෙනෙක්ද ආරාධනා ලැබ සිටියහ.
0 Comments