බිරියගේ මෘතදේහය කඩිනමින් මුදාහැරීමට නම් රුපියල් දෙදහසක අල්ලස් මුදලක් ඉල්ලා එය ලබානොදීම
නිසා මරණය ලබාදීම සිතාමතා ප්‍රමාද කළ අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ
සේවකයකුට එරෙහි මරණකාරියගේ සැමියා විසින් ඊයේ (16දා) අනුරාධපුර නාගරික හදිසි මරණ පරීක්ෂක
ජේ.එම්. ජයතිලක මහතාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.



ඊතල්වැටුණවැව, මහපොතාන, කහටගස්දිගිලිය හා අංක 167 ‍ෙදාඩම්ගොල්ල, අකුරණ යන ලිපිනයන්හි
පදිංචි හසන් අබ්දුල් මලික් නමැති දෙදරු පියා විසින් නාගරික හදිසි මරණ පරීක්ෂක ජේ.එම්. ජයතිලක
මහතාට පැමිණිල්ල ඉදිරිපත් කර තමන්ට සාධාරණයක් සිදුකර දෙන ලෙස ඉල්ලා තිබේ.

අනුරාධපුර නාගරික හදිසි මරණ පරීක්ෂක ජේ.එම්. ජයතිලක මහතා සමඟ පොලිස් නිලධාරීන් එක්ව හදිසි
මරණ පරීක්ෂණ කටයුත්ත පැයක පමණ කාලයකදී සිදුකර කඩිනමින් ආගමානුකූලව භූමදානය සිදුකිරීමට අවස්ථාව
සලසා දුන්නත් අධිකරණ වෛද්‍ය කාර්යාලයෙන් මරණය මුදාහරිනු ලැබුවේ පැය 24ක් ඉක්මවා ගිය පසු බව
ඔහු ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන්වේ.

සිය මවගේ කුඹුරු අස්වැන්න නෙළමින් සිටියදී උග්‍ර විෂ සහිත පොළඟකු දෂ්ට කිරීමෙන් සිය බිරිය වූ 32
හැවිරිදි දෙදරු මවක් වූ මොහොමඩ් කලීල් ෆාතිමා රෝෂානා නිම්ලියා නමැත්තිය මියගොස් තිබිණි.



බිරිය මියගිය අවස්ථාවේ හදිසි මරණ පරීක්ෂණය පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු නොකර තමන්ට පැයකින්
මෘතදේහය ලබාදීමට හැකි බව කියමින් අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සේවයේ නියුතු සුළු
සේවකයකු රුපියල් දෙදහසක අල්ලස් මුදලක් ඉල්ලූ බවත් එම මුදල ලබාදීමට මුදල් නොතිබූ නිසා ඊට
පළිගනිමින් දේහය පසුදින වනතුරු මෘත ශරීරාගාරයේ තබා තිබූ බවත් ඔහු කීය.

අනුරාධපුර ශික්ෂණ රෝහල් සේවකයකු අල්ලස් ඉල්ලීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇත්ද යන්න
සම්බන්ධයෙන් අනුරාධපුර නාගරික හදිසි මරණ පරීක්ෂක ජේ.එම්. ජයතිලක මහතාගෙන් දුරකථනයෙන් කළ
විමසීමකදී ඒ මහතා සිදුවීම තහවුරු  කළේය.

අනුරාධපුර - මහේෂ් විජේසූරිය