පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ වැටුප පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් තාවකාලිකව අත්හිටවනු ලැබ ඇත.  රාමනායක මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවට පැමිණීමට හැකියාව තිබේද නැද්ද යන්න සම්බන්ධයෙන් අධිකරණයේ තීරණයක් ලැබෙන තුරු ඔහුගේ වැටුප තාවකාලිකව මෙසේ අත්හිටුවූ බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් පැවැසීය.  

රාමනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීමට අවසර ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පසුගියදා මෝසමක් ඉදිරිපත් කළේය.  රාමනායක මන්ත්‍රීවරයාගේ වැටුප  තාවකාලිකව අත්හිටුවීමත් සමගම එම වැටුපෙන් නිල නිවාසය ඇතුළු පහසුකම් සඳහා මුදල් කපා ගැනීම ද තාවකාලිකව නතර කෙරෙනු ඇත.


රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට මැතිසබයට පැමිණීමට අවසර දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේ දී අවස්ථා කිහිපයකදීම ඉල්ලා සිටියහ. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ රාමනායක මන්ත්‍රීවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවමක් ඉකුත් ජනවාරි මස 12 වැනිදා නියම කරනු ලැබීය.
වසර හතරක බරපතළ සිර දඬුවමක් නියම කර බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක වෙනුවෙන් මාස තුනක නිවාඩුවක් ඉල්ලීමටo විපක්ෂය තීරණය කර තිබේ.



ඒ අනුව එම ඉල්ලීම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් එළඹෙන 09 වැනි දා කතානායකවරයාගෙන් ඉල්ලීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට මාස 03කට වැඩි කාලයක් පාර්ලිමේන්තු නොපැමිණ සිටීම සදහා පාර්ලිමේන්තුවෙන් නිවාඩු අනුමත කර ගත යුතුය.