Rajitha-speaks

එක්සත් ජනපද කොන්ග්‍රස් සභිකයින් අතර ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය බිඳවැටී ඇති බැවින් එය ඉහළ නංවා දෙන බවට පොරොන්දු වෙමින් එක්තරා ව්‍යාපාරිකයෙකු රජයෙන් රුපියල් බිලියන 1.7 ක් ලබාගෙන ශ්‍රී ලංකා රජය නොමග යවා ඇති බවත් ඔහු සිදු කර ඇති වංචාව හෙළි කරන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රජිත සේනරත්න මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් ඊයේ කියා සිටියේය.



 මෙම ව්‍යාපාරිකයාට ප්‍රතිරූපය ඉහළ නැංවීමේ ව්‍යාපාරය සඳහා වියදම් කිරීම සඳහා රුපියල් බිලියන 1.7 ක මුදලක් යවා ඇති නමුත් ඔහු වැඩි මුදලක් තම පුද්ගලික ගිණුම්වලට බැර කර ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා
ඉන් රුපියල් බිලියන 1.3 ක මුදලක් ඔහුගේ පුද්ගලික ගිණුමට මාරු කර ඇති බව සොයාගන්නට ඇති බවත් ඔහු එක්සත් ජනපද කොන්ග්‍රස් සාමාජිකයින් අතර ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමේ ව්‍යාපාරයක් දියත් කර නොතිබූ බවත් දන්වා සිටියේය.


“මෙම ව්‍යාපාරිකයා වෙනුවෙන් අරමුදල් මාරු කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු අයට එරෙහිව පියවර ගැනීම අත්‍යවශ්‍ය වන්නේ එයින් මහජන මුදල් නාස්ති වී ඇති බැවින්. රාජ්‍ය අරමුදල් යොමුකළ අයට ද මෙම ව්‍යාපාරිකයාගෙන් කොමිස් මුදලක් ලබා ගත්තා විය හැකියි. එබැවින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. එම රටේ දේපළ වංචා සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය මේ වන විටත් මෙම පුද්ගලයාට එරෙහිව පියවර ගෙන තිබෙනවා. “ මන්ත්‍රීවරයා පැවසීය.