ව්‍යාජ ලියාපදිංචි අංක යොදාගෙන නීති විරෝධී අන්දමින් ‘තෝරා’ බීඩි ලෙස ඇඟවෙන පරිදි ‘නෝරා’
නමින් බීඩි නිෂ්පාදනය කළ බව කියන බීඩි
 
නිෂ්පාදකයෙක්  රුපියල් ලක්ෂ 25ක් වටිනා බීඩි තොගයක් සමඟ උතුරු කළුතර පොලිසිය මඟින් පෙරේදා
(15දා) කළුතර පනාපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

තම නිෂ්පාදනවල සඳහන් ලියාපදිංචි වෙළෙඳ නාම සහ ලාංඡනවලට සමාන වන අන්දමින් නීති විරෝධී ලෙස
බීඩි නිෂ්පාදනය කරන බව කියමින් ‘තෝරා’ බීඩි සමාගම කරන ලද පැමිණිල්ලක් අනුව කළුතර මහෙස්ත්‍රාත්
අධිකරණය ලබාගත් සෝදිසි වරෙන්තුවක් යටතේ මෙම ස්ථානය පරීක්ෂා කොට බීඩි 3,13,300ක් සමඟ
සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.



මොහු තම නිෂ්පාදනවල ‘තෝරා’ යන නම ඊට සමීපව පෙනෙන සේ ‘නෝරා’ යනුවෙන් සඳහන් කර තිබූ
බවත් ‘තෝරා’ බීඩිවල සඳහන් වෙළෙඳ සලකුණ වන තෝරා මාළුවාට හොටක් එක්කර තිබූ බවත් පොලිසිය කියයි.

මොහු තම නිෂ්පාදන සමාගම් මැදූරේ හෝ සුරා බදු පනත යටතේ ලියාපදිංචි කර නොතිබූ බවත් තම
නිෂ්පාදනවල සුරාබදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ බව හඟවන සේ ව්‍යාජ ලියාපදිංචි අංකයක්
සටහන් කර තිබූ බවත් මොහු සතුව ඇත්තේ තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කළ සහතිකයක් පමණක් බවත්
පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.



සැකකරු වසර දහයකට වැඩි කාලයක් තිස්සේ මෙම ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇති අතර මින් පෙරද
මෙවැනි වැරදි සම්බන්ධයෙන් අධිකරණයෙන් දඬුවම් ලැබූ අයකු බව පොලිසිය කියයි.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත, කළුතර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස්
අධිකාරි කපිල ප්‍රේමදාස, ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් සිල්වා සහ උතුරු කළුතර පොලිස්
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංක සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත උතුරු කළුතර
පොලිසියේ දූෂණ වැටලීම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ.පී. ලක්මාල්, කොස්තාපල්වරුන් වන
අබේගුණවර්ධන (67167) සහ තිලකරත්න (94014) යන මහත්වරුන් විසින් මෙම වැටලීම සිදුකර තිබිණි.


පයාගල - සුජිත් මාරියෝ, කොළඹ - ජයසිංහ ,පොතුපිටිය - සුමිත් රණවක