මෙම වසරේ (2021) පැවැත්වීමට නියමිත පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය
පෙළ සහ උසස් පෙළ යන විභාග කල්දැමීමට සිදුවන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා
ඊයේ (11 දා) ප‍්‍රකාශ කළේය.



 මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡා කරමින් පවතින බවත් ඉන් අනතුරුව විභාග
පැවැත්වෙන කාලවේලාවන් ප‍්‍රකාශ කළ හැකි බවත් ඒ මහතා කීවේය.
 
 ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේ පැවැත්වීම සහ සාමාන්‍ය පෙළ විභාගය
දෙසැම්බර් මාසයේ පැවැත්වීම සාමාන්‍යයෙන් සිදුවුවත් මෙවර එම දිනයන් ඉදිරියට දැමීමට සිදුවන බව
ඒ මහතා පැවසීය.
 
 විභාග දොපර්තමේන්තුවට නියමිත කාලවලදී විභාගය පැවැත්වීමේ හැකියාව ඇතත් දරුවන්ට කොරෝනා
තත්ත්වය හමුවේ අධ්‍යයන කටයුතු නිසිලෙස සිදුකිරීමට අවස්ථාව නොලැබීම නිසා මාස කිහිපයක් අධ්‍යයන
කටයුතු සිදුකිරීමෙන් පසු විභාගය පැවැත්වීමට අදහස් කරන බවද ඒ මහතා කීය. උසස් පෙළ සහ ශිෂ්‍යත්ව
විභාගය නොවැම්බර් දක්වා කල්දැමීමට අදහස් කර තියෙන බවත් අවසන් තීරණය ගැනීම අධ්‍යාපන
අමාත්‍යාංශය විසින් සිදු කළ යුතු බවත් ඒ මහතා අවධාරණය කර සිටියේය.

 චමින්ද සිල්වා