aluthwewa-incident

නක්කාවත්ත, අලුත්වැව ප්‍රදේශයේ පවුල් ආරවුලක් මත සැමියා විසින් බිරිය නිවෙස තුළදීම පිහියකින්
කපා කොටා ඝාතනය කර ඇතැයි නාරම්මල පොලිසිය පැවැසීය. 

  නක්කාවත්ත, අලුත්වැව පදිංචි වගේ පේඩිදුරයලාගේ කරුණාවතී නමැති 58 හැවිරිදි දෙදරු මවක් මෙසේ
මියගොස් ඇත.

බිරිය දින ගණනක් නිවෙසේ නොමැතිව සිට ඉකුත් 16 වැනි දින පෙරවරුවේ ගමේ පැවැති කාන්තා සමිතියකට
පැමිණ ඇත.

ඒ බව දැනගත් සැමියා බිරියට දුරකථනයෙන් කතා කොට නිවෙසට පැමිණ ඇගේ ඇඳුම් රැගෙන
යන ලෙසටත් ඇඳුම් භාරදීම සඳහා නිවෙසට පොලිසියෙන් පැමිණ ඇති බවත් පවසා ඇත. ඒ අනුව නිවෙසට
පැමිණි කාන්තාව ගේ ඇතුළට යෑමත් සමඟ සැමියා විසින් පිහියකින් බෙල්ල කපා මැද සාලයේ ඝාතනය කර
තිබූ බව පරීක්‍ෂණ පවත්වන නාරම්මල පොලිසිය පැවැසීය. ඝාතනයෙන් පසුව සැමියා වස බෝතලයක් මිදුල
මැද දමා පලා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත. සැමියා අත්අඩංගුවට ගැනීමට
නාරම්මල පොලිසිය පරීක්‍ෂණ පවත්වයි. කුලියාපිටිය වැඩ බලන මහෙස්ත්‍රාත් නීතිඥ උපුල් අලගියවන්න
මහතා විසින් නිවෙසට පැමිණ පරීක්‍ෂණයක් සිදු කරන ලදී. මෘත ශරීරය කුලියාපිටිය මූලික රෝහලේ
ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයාට යොමුකර අධිකරණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත්
සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත් පොලිසියට නියෝග කරන ලදී.



කුලියාපිටිය ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතාගේ සහ සහකාර පොලිස් අධිකාරි චන්න
අබේරත්න මහතාගේ උපදෙස් මත නාරම්මල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක දේශබන්ධු
සේනාරත්න මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක
දිසානායක,  උප පොලිස් පරීක්‍ෂක මාරසිංහ පොලිස් සැරයන් පෙරේරා (37081), පොලිස් සැරයන්
සිසිර (57867) යන මහත්වරු විසින් මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

රඹාවැව - කේ.ඒ. ජයසූරිය