anuradapura-dogs

දිවයිනේ ප්‍රසිද්ධ මූල්‍ය ආයතනයක අනුරාධපුර පිහිටි ශාඛාවේ කළමනාකරුවකු බව කියන පුද්ගලයකු විසින්
අනුරාධපුර පණ්ඩුකාභයපුර වෘත්තීය පුහුණු ගොඩනැඟිල්ල අසල ලැගුම්ගෙන සිටි සුනඛයන් පිරිසකට ඉකුත්දා
(13දා) මධ්‍යම රාත්‍රියේ වෙඩි තැබීම නිසා එක් සුනඛයකු මරණයට පත්වී තවත් සුනඛයකු තුවාල ලබා
ඇති බව කියමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියට දුරකථන මඟින් පැමිණිලි කර තිබේ.

අනුරාධපුර සෞඛ්‍ය නිලධාරි කාර්යාලයේ සේවයේ නියුතු සත්ව හිංසාවට දැඩි විරෝධී තරුණ වෛද්‍යවරියක්
විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට හා මූලස්ථාන පොලිසියට දුරකථනය මඟින් පැමිණිලි කර තිබේ.

අනුරාධපුර, බුද්ධගයා මාවත, දෙවැනි පටුමඟ,  පණ්ඩුකාභයපුර පිහිටි ළමා උද්‍යානය හා පෙර පාසල
අතරදී මූල්‍ය ආයතන කළමනාකරුවකු බව කියන පුද්ගලයා සුනඛයන්ට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කළ බව
නගරවැසියෝ කියති.



ප්‍රදේශයට ආරක්ෂාව සැපයූ නමුත් කළමනාකරුගේ මෝටර් රථයට එළව එළවා බීරූ සුනඛයන්ට ඔහු
අමානුෂික අන්දමින් මෙසේ වෙඩි ප්‍රහාරයන් එල්ල කළ බවත් ඉකුත් 13දා රාත්‍රියේ වෙඩි තබන හඬ
ඇසුණු බවත් නගරවාසීහු පැවැසූහ. වෙඩි ප්‍රහාරයට ලක්වූ එක් සුනඛයකු ප්‍රහාරයෙන් තුවාල ලබා
තිබෙන අතර තවත් සුනඛයන් පිරිසක් මරණ බියෙන් සැඟ වී ඇති බව ඔවුහු පැවැසූහ.



පණ්ඩුකාභයපුර ළමා උද්‍යානය, පෙර පාසල, ඇවිදින මංතීරුව අසල පිහිටි කායවර්ධන මධ්‍යස්ථානය,
වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඇතුළුව ගම්මානය දිවා රෑ මුරකළ සුනඛයන්ට වෙඩි තැබීම පිළිබඳව ඔවුන්
අප්‍රසාදය පළ කළ අතර කළමනාකාරවරයාගේ නිවෙසට යෑමට වෙනත් මඟක් තිබියදී ඔහු එම ස්ථානයෙන්
ගමන් කරමින් සතුන්ට හිරිහැර සිදුකිරීම නිසා රථය ගමන් කරද්දී බුරන බව නගරවැසියෝ පැවැසූහ.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියෙන් කළ විමසීමකදී කියා සිටියේ දුරකථනයෙන් පැමිණිලි
 ලැබුණත් පරීක්ෂණයක් සිදුකිරීමට පොලිස් ස්ථානයට පුද්ගල පැමිණිල්ලක් ලැබී නැති බවයි. කිසියම් අයෙකු
වායු රයිෆල් ප්‍රහාරයක් එල්ල කර සුනඛයා මරාදමා ඇති බව පොලිසිය පැවැසුවේය.

අනුරාධපුර _ මහේෂ් විජේසූරිය