ශ්‍රී ලංකා ක්‍රිකට් නගා සිටුවීම අංශ තුනක් යටතේ සලකා බැලූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණ කමිටු ප්‍රධානී අරවින්ද ද සිල්වා මහතා පැවසීය. ඒ ඊයේ (25දා) පැව මාධ්‍ය හමුවකදීය. මෙහිදී අදහස් දැක්වූ අරවින්ද මහතා, අපි මේ කමිටුව යටතේ අංශ තුනක් පිළිබඳ සලකා බැලුවා.  ඉක්මනින් පිළියම් යෙදිය යුතු කෙටිකාලීන සැලසුම්, මධ්‍යමකාලීනව පිළියම් යෙදිය යුතු කරුණු හා දිගුකාලීන සැලසුම් යන කාරණායි. මුලින්ම අපිට දැනුනේ අපිට ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස පමණක් නෙමෙයි , පුහුණුකරුවෙකු හා පාලකයෙකු ලෙස හොඳ ශක්තිමත් චරිතයක්.විශේෂයෙන්ම ස්වාධීන විය යුතුයි. ඒකයි අපි ටොම් මුඩි වගේ අත්දැකීම් ඇති චරිතයක් අපේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙසින් පත් කර ගත්තේ. අනිත් කාරණය ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් කාලයක් කටයුතු කරල තියෙනවා. ඒ නිසා ඔහුට ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ගැන අවබෝධයක් තිබෙනවා.

අපි මෙහිදී මුල්තැනක් දුන් කාරණා අතරට අපේ පළමු පෙළ තරග සැකැස්ම තිබෙනවා. මෙහිදී යොවුන් ක්‍රිකට් වගේම පාසල් ක්‍රිකට් දියුණු කිරීම ප්‍රධාන තැනක් ගන්නවා. ඒ වගේම වර්තමාන ක්‍රීඩක කොන්ත්‍රාත්තු, ඒ වගේම කණ්ඩායමේ සහාය මණ්ඩලය වගේම පුහුණුකරණ දර්ශනය පිළිබඳවත් අපි සලකා බැලිය යුතුයි. ක්‍රීඩා සමාජ සම්බන්ධයෙන් සලකා බැලීම වගේම අපි කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීම සම්බන්ධයෙනුත් අවධානය යොමු කළ යුතුයි. මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ටොම් මූඩි මහතා, නැවත ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක වැඩ කරන්න ලැබුණ එක ගැන සතුටුයි. ශ්‍රී ලංකාව රටක් ලෙස මට ගොඩක් සමීපයි. ශ්‍රී ලංකාව ඉන්න තත්වය අනුව ඔවුන්ට නැවත සමාලෝචනයක් හා ගොඩ නැංවීමක් අවශ්‍යයි. අපි පරිස්සමින් දක්ෂ මිනිසුන්ගේ සහය ඇතිව මේ පිළිබඳ සැලැස්මක් සැකසිය යුතුයි. එතකොට නැවතත් අපිට ලෝක මට්ටමින් ඉහළට ශ්‍රී ලංකා ක්‍රිකට් ඔසවන්න හැකිවෙයි. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට නැවත නගා සිටුවීමට අවශ්‍ය කාරණා සම්බන්ධයෙන් මාධ්‍යවේව්පියෙකු ඇසූ පැනයකට පිළිතුරු දුන් මෝඩ් මහතා, ශ්‍රී ලංකාවට විතරක් නෙමෙයි කොතරම් හොඳ කණ්ඩායමකට වුණත් පරාජයන් චක්‍රයකට මුහුණ දෙන්න වුණාම කොච්චර හොඳ ක්‍රීඩකයන් හිටියත් ඒකෙන් ගොඩ එන්න තරමක් අසීරුයි. ඒක කලක් ලොව අංක එකේ කණ්ඩායම් වුණ ඔට්‍රේලියාවටත් තිබ්බා රිකී පොන්ටින්ගේ නායකත්වය යටතේ.

අපි ඒ පිළිබඳ අවධානය යොමු කරලා නැවතත් සකස් වෙන්න උත්සාහ කළ යුතුයි. විශේෂයෙන් පළමු පෙළ වෙනුවෙන් සැලසුමක් සකස් කළ යුතුයි. මම හිතනවා මගේ වසර 3ක කොන්ත්‍රාත් කාලය තුළ ගොඩක් දේවල් කරන්න හැකි වෙයි කියලා. මෙහිදී ටොම් මූඩිගේ රැකියාව සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට පිළිතුරු දුන් අරවින්ද, මම හිතන්නේ අන්තර් ජාතික තරග සීයක් ක්‍රීඩා කළ හෝ අන්තර්ජාතික තරගවලදී ලකුණු පහළොස් දහසේ සීමාව පහු කළා කියලා හොඳ පුහුණුකරුවෙකු වෙන්න බෑ.

ඒකට දිනෙන් දින ඉගෙනගත යුතුයි.ටොම්ට දීල තියෙන රැකියාවත් ඔහුට තියෙන්නේ අපේ පුහුණුකරුවන් පුහුණු කර ඔවුන්ගේ තත්වය උසස් කිරීමයි. මෙහිදී ක්‍රීඩා සමාජවල තත්වය උසස් කිරීම සම්බන්ධයෙන් අදහස් දැක් වූ අරවින්ද ද සිල්වා මහතා,"හැමෝගෙම අදහස ක්‍රීඩා සමාජ ප්‍රමාණය අඩු කළ යුතුයි කියලා. නමුත් අපි ක්‍රීඩා කරන කාලෙත් පාසලෙන් ඉවත් වුණාම අපිට තිබ්බ එකම පිහිට තමයි ක්‍රීඩා සමාජය. ඒ නිසා පාසලෙන් පිට වෙලා එන යොවුන් ක්‍රීඩකයන්ගේ අවස්ථාව නැති නොකළ යුතුයි. ගොඩක් අය අහන්නේ පාසල්වලින්ම ක්‍රීඩකයන් කෙලින්ම ජාතික තලයට බිහි කරන්න බැරිද අපි ක්‍රීඩා කළ කාලේ වගේ. නමුත් මම සඳහන් කරන්න ඕන අර්ජුන හා මම ඉතා කුඩා කාලෙදීම එන්.සී.සී. ක්‍රීඩා සමාජයට බැඳුණා. මම අවුරුදු 15 පමණ ඉඳන් එන්.සී.සී. ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළා. යැයි පැවසීය. මෙහිදී ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත්තුව. සම්බන්ධයෙන්ද අදහස් දැක් වූ අරවින්ද ද සිල්වා මහතා පැවසුවේ මෙවර ක්‍රීඩකයන්ගේ දක්ෂතා මත දිරි දීමනා ලැබෙන ආකාරයට කොන්ත්‍රාත් සකස් කොට ඇති බවයි.මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා පැවසුවේ පසුගියදා සිය ධුරයෙන් ඉල්ලා අස් වූ ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු චමින්ද වාස් මහතා නැවත එම ධුරයට පත් කළ බවයි.

 (ඕෂිත වරකපිටිය)