හිටපු ආණ්ඩුකාර ආසාද් සාලි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අඟහරුවාදා සන්ධ්‍යා කාලයේ කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගෙන තිබේ. මාර්තු 10 වැනි දා ඔහු සිදු කරන ලදැයි කියන ප්‍රකාශයකින් දණ්ඩ නීති සංග්‍රහය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා දේශපාලන හා සිවිල් අයිතීන් පිළිබඳ සම්මුති නීතිය යටතේ වැරදි සිදුකර ඇති බවට නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබුණි.



අසාද් සාලි මහතා අත්අඩංගුවට ගත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.  අදාළ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව ඔහුව රඳවා තබාගෙන පාස්කු ප්‍රහාරය සහ ඊට අදාළ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට නියමිතව ඇති බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අසාත් සාලි මහතා පරිහරණය කරනු ලබන මෝටර් රථයේ පිටුපස ආසනයේ කාපට්ටුවක් යට තිබී පිස්තෝලයක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හමුවී තිබෙයි.

එම පිස්තෝලයට බලපත්‍ර ඇතැයි සඳහන් කරමින් ඔහු විසින් යම් ලියවිල්ලක් ද ඉදිරිපත් කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර මෙරට නීතිය සම්බන්ධයෙන් අසාද් සාලි මහතා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගතයුතු බවට වන යෝජනාවක් ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ විශේෂාධිකාරී මණ්ඩලය විසින් අඟහරුවාදා (16) පෙරවරුවේ සම්මත කරගෙන තිබුණි.