astrazeneca-issue

කෝවිඩ් 19 රෝගය සඳහා භාවිත කරන ඇස්ට්‍රසෙනෙකා එන්නත රටවල් කිහිපයක් මේ වනවිට තාවකාලිකව අත්හිටුවා ඇත. ඒ එන්නත්කරණයෙන් අනතුරුව ලේ කැටි ගැසීමේ තත්වයක් මතුවීම හේතුවෙනි.  ඒ අතරට ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය වැනි රටවලද අයත් වේ. එන්නත සහ රුධිර කැටිගැසීම අතර කිසිදු සම්බන්ධයක් තහවුරු වී නොමැති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මෙම තත්වය හමුවේ ලංකාව තුළ විවිධ පිරිස් එන්නත ලබාගැනීම් බියක් ඇතිව තිබේ. මෙම වෛද්‍ය පැහැදිලි කිරීම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්නගෙනි.

‘එන්නත්කරණයේදී එවැනි ලේ කැටි ගැසීම් සංකූලතාවන් ලංකාවේ දැක නැහැ කොවිෂීල්ඩ් එන්නතින් ලේ කැටි ගැසීමක් සිදුවනවාද කියලා හරියටම තවම කවුරුත් දන්නෙ නැහැ. ලේ කැටි ගැසීමක් සිදුවෙලා කියලා යුරෝපයේ රටවල් කිහිපයක්ම මේ වනවිමට කොවීෂීල්ඩ් එන්නත නතර කරලා තියෙනවානේ.මේක අලුත් රෝගයක්, අලුත් එන්නතක්. ඒ නිසා යම් සංකුලතාවක් ඇතිවුණාට පසුව ඒක නවත්වලා ඒ ගැන පර්යේෂණ කරන එක තමයි සාමාන්‍යයෙන් කරන්නේ. මෙහෙම දෙයක් තිබෙනවා. ඒ රටවල වයසක ප්‍රජාවගේ ප්‍රතිශතය වැඩියි. ඒවන්ම ඒ රටවල මිනිස්සුන්ගේ සාමාන්‍යයෙන් ලේ කැටි ගැසීමේ ප්‍රවණතාව ටිකක් වැඩියි. රටවලින් රටවලට ප්‍රතිශක්තියේ හැටියට, ජානවල හැටියට මේ එන්නත ප්‍රතිචාර දක්වන විදිහ වෙනස් වෙන්න පුළුවන්.

හැබැයි ලංකාව වැනි රටක ලේ කැටි ගැසීම ප්‍රවණාතවක් ලෙස දක්නට ලැබෙන්නේ නැහැනේ. අපේ රටේ අයගේ ලේ කැටි ගැසීමක් බොහෝ වෙලාවට දක්නට ලැබෙන්නේ ලොකු සැත්කමක් කරලා ටික දිනක් ගියාට පසුව එමගින් යම් තත්වයක් ඇතිවුවහොත් පමණයි. අපිට එවැනි තත්වයක් නැහැ. ඒ රටවල ලේ කැටි ගැසීම් නිසා විවිධ සංකූලතා ඇති වුණා කියලා කියනවා. ඒක නිසා තමයි ඔවුන් තාවකාලිකව නවත්වලා තියෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයවත් තවම කොවීෂීල්ඩ් එන්නත නවත්වන්න කියලා අපිට දැනුම් දිලත් නැහැ. එන්නත්කරණයේදී එවැනි ලේ කැටි ගැසීමේ සංකූලතාවත් ලංකාවේ දැක්කෙ නැහැනේ. ඒ නිසා අපිට එන්නත නවත්වන්න හේතු කාරණයක් නැහැ. අපට දැනට මේ කොවීෂීල්ඩ් එන්නතින් ලැබෙන ආරක්ෂව විද්‍යානුකූලව තහවුරු වෙලා තිබෙනවා.ඇස්ට්‍රසෙනිකා එන්නත පිළිබඳව සමාජය තුළමේ වන විට අනිසි බියක් ඇති වී තිබෙන අතර, මෙම තත්වය පිළිබඳව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සිය නිල ෆේස්බුක් පිටුවේ මෙලෙසින් සටහනක් නිකුත් කර තිබේ.

"යුරෝපය තුළ රටවල් කිහිපයකින් එන්නත්කරණයෙන් පසුව ලේ කැටි ගැසීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වීම නිසා යුරෝපයේ රටවල් කිහිපයක් ඇස්ට්‍රසෙනිකා (AstraZeneca) එන්නත ලබාදීම තාවකාලිකව අත්හිටුවා ඇති බව අප සියලුදෙනාම දන්නා කාරණයක්. නමුත් ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය ඇතුළු රටවල් 65කට අධික සංඛ්‍යාවක් මෙම එන්නත් කිරීම දිගටම සිදුකරගෙන යන බව බොහෝ දෙනෙකු නොදන්නා කාරණාවක්. විවිධ රටවල් අතර මෙම තීරණ ගැනීමේ ක්‍රියාවලියේ දෙගිඩියාව නිසා එන්නත ලබාගැනීම සම්බන්ධයෙන් විවිධ දුර්මත පැතිරී යාමට පටන්ගෙන තිබෙනවා. මෙහි සැබෑ විද්‍යාත්මක පසුබිම පැහැදිලි කිරීමටත්,එමගින් අප හා නිරන්තරයෙන් සංවාදයේ යෙදෙන ගවේෂණශීලී ඔබට වඩාත් හොද තීරණයක් ගැනීමට බලගැන්වීම යුතුකමක්.විද්‍යාත්මක පසුබිම සාකචිඡා කිරීමට පෙර අප සියලුදෙනාම තේරුම් ගත යුතු සාමාන්‍ය දැනුම මත පදනම් වුණු කරුණු කාරණා කිහිපයක් මතකයට නවාගත යුතුයි.ශ්‍රී ලංකාව තුළ ජීවත්වන මිලියන විසිදෙකකට ආසන්න ජනගහනයෙන් නොයෙකුත් හේතු නිසා දිනකට මිය යන ගණින සාමාන්‍යයක් ලෙස 400දෙනෙක් වනවා.

මෙම මරණ හෘද රෝග සිට ආඝාත රෝග, දියවැඩියාව, අධික රුධිර පීඩනය, පිළිකා, මාර්ග අනතුරු ඇතුළු නොයෙකුත් හේතු නිසා සිදුවන ඒවා. එම නිසා උදාහරණයක් ලෙස එක් දිනක් තුළ ලංකාවේ වෙසෙන මිලියන විසිදෙකක් වන මුළු ජනගහනයම එන්නත්කරණයට ලක් කළහොත් ඊට පසු දිනද මෙම මරණ 409 ලංකාව තුළ සිදුවීම වැළැක්විය නොහැකි කාරණයක් වනවා. දැන් මෙන්න මේ පසුබිම තුළ අපි එන්නත්කරණය නිසා රුධිරය කැටිගැසීම මගින් මරණ සිදුවී ඇත්දැයි කියන එක විද්‍යාත්මකව සලකා බැලිය යුතු කාරණාවක්.ඇස්ට්‍රසෙනිකා (AstraZeneca) එන්නත මගින් යුරෝපය තුළ දැනට එන්නත්කරණ මිලියන 5කට වඩා අධික සංඛ්‍යාවක් සිදු කර තිබෙනවා. ඒ අතර එන්නත් ලබාගත් අයගෙන් 30දෙනෙකුට මෙලෙස ලේ කැටි ගැසීම සිදු වී ඇති බවට වාර්තා වනවා. එන්නත්කරණයකින් තොරව යුරෝපය තුළ වෙසෙන අවුරුදු 50ට වැඩි ජනතාව අතර රුධිර කැටි ගැසීමේ ප්‍රවණතාව වසරකට මිලියනයක ජනගහනයකට 1200 දෙනෙකු වනවා.


එනම් මිලියන 5ක ජනගහනයක් සැලකුවිට 6000කට ආසන්න සංඛ්‍යාවකට වසරක් තුළ ලේ කැටි ගැසීමේ සිද්ධියක් වාර්තාවීමේ සම්භාවිතාවක් පවතිනවා. එන්නත්කරණය සිදුකිරීම අවුරුද්දක් පුරාවට සිදු වී නැහැ. නමුත් එන්නත්කරණය පැවැති මෙම මාස හතරකට ගණනය කළහොත් එම අගය 1500ක් පමණ විය යුතුයි. මෙලෙස සැලකු විට එක්නත්කරණයෙන් පසු වාර්තා වූ රුධිර කැටි ගැසීම් 32ත් මීට වඩා අතිශයින් අඩු බව අපට පෙනී යනවා. මේ නිසා විද්‍යාත්මකව සලකා බැලූ විට එන්නත්කරණය මගින් ලේ කැටි ගැසීමක් සිදු වූ බවට හැගවෙන කිසිම සාධකයක් නැහැ. මෙය හුදෙක් සාමාන්‍ය මරණ රටාවට සමාන්තරව සිදු වූ අහඹු සිදුවීමක් ලෙසයි පෙනී යන්නේ, දැන් ඔබ කල්පනා කරනවා ඇති. එහෙම නම් සමහර රටවල් කිහිපයක් එන්නත්කරණය නතර කළේ ඇයි කියා. ඔවුන් මෙසේ එන්නත්කරණය නවත්වා තිබෙන්නේ තාවකාලික පියවරක් ලෙස සති දෙකක කාලයකටයි. එලෙස නැවැත්වීමට තීරණය කළ ජර්මනිය වැනි රටවල් එම විධානය වෙනස් කර යළිත්වරක් එන්නත්කරණය ආරම්භ කර තිබෙනවා. ඊට අමතරව අති මහත් බහුතරයක් රටවල් තවමත් එන්නත්කරණය කිසිම වෙනසකින් තොරව එම ආකාරයෙන්ම පවත්වාගෙන යනවා, ඉදිරියේදී ලබාගත්තා ස්වාධීන සාධක මත මෙසේ එන්නත්කරණය තාවකාලිකව නතර කරපු රටවලුත් තම තීරණය වෙනස් කිරීමට බොහෝ ඉඩ තිබෙනවා.



මෙලෙස විද්‍යාත්මකව කරුණු සලකා බැලූ විට ඇස්ට්‍රසෙනිකා (AstraZeneca) එන්නත ලබාගැනීම මගින් ලේ කැටි ගැසීම් ඇතිවීම හෝ වැඩිවීමක් සිදු වී නොමැති බව පැහැදිලි වනවා.බොහෝ එක්නත් දශක ගණනාවක් පුරාවට භාවිත වන එන්නත් වන අතර, සෑම වසරකම මිලියන ගණනක් ජනතාවට ඒවා සුරක්ෂිත අන්දමින් ලබාදෙනු ලබයි. සියලු ඖෂධ මෙන්ම, සෑම එන්නතක්ම පුළුල් හා දැඩි පරික්ෂණ අවධියක් පසු කළ යුතුය. එමගින් රටක එන්නත්කරණ වැඩසටහනකට නව එන්නත් හදුන්වාදීමට පෙර එන්නත සුරක්ෂිත බව තහවුරු කරනු ලබයි. නව එක්නත් මුලින්ම සතුන් භාවිත කර පසුව සායනික පරීක්ෂාවට ලක් කෙරේ. එමගින් කරනු ලබන්නේ ඒවායේ ආරක්ෂිත බව සහ රෝග වැළැක්වීමේ හැකියාව තක්සේරු කිරීමයි. ඉන් අනතුරුව ඒවා අදියර තුනකදී මිනිසුන් භාවිත කරමින් සායනික අත්හදා බැලීම් සිදුකරයි.

කෝවිඩ් -19 එන්නත් නිෂ්පාදනය කිරිමේ ක්‍රියාවලිය වේගවත් කරනු ලැබුවේද ඉහළ ගුණාත්මකභාවයක් ආරක්ෂා යොදාගනු ලැබුවේද අනෙකුත් එන්නත් නිෂ්පාදනය කිරිමේ ක්‍රියාවලියේ පියවරමය. සාම්ප්‍රදායික එන්නත් නිෂ්පාදනය කිරීමේදී අනුගමනය කරනු ලබන්නේ එකකට පසුව එකක් වශයෙනි. නමුත් කෝවිඩි 19 එන්නත් සම්බන්ධයෙන් පියවර අනුගමනය කරනු ලැබුවේ සමාන්තරවය. (වෙන වෙනම එකවර - එකම කාලය තුළ) ඒ ආරක්ෂිත අන්දමින් ක්‍රියාවලිය වේගවත් කිරීම සදහාය.එන්නත්වල සුරක්ෂිත බව සහ ගුණාත්මක බව තහවුරු කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළම ප්‍රමුඛතාවයයි. කෝවිඩ් 19 එන්නත් ඉක්මනින් සංවර්ධනය කරනු ලැබූවද, සියලු අත්‍යවශ්‍ය පියවර අනුගමනය කරන ලද අතර, සුරක්ෂාව සහ සඵලතාව පිළිබඳ සාමාන්‍ය අධීක්ෂණ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන ලදී. එන්නත්වල ගුණාත්මකභාවය,ආරක්ෂාව සහ සඵලතාව සම්බන්ධ ගෝලීය වශයෙන් පිළිගන්නා සම්මතයන් හා ප්‍රමිති සංවර්ධනය හා ක්‍රියාත්මක කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය ජාතික නියාමන අධිකාරීන් සමග එක්ව ක්‍රියාත්මක කරයි.

ඇස්ට්‍රසෙනිකා එන්නත හෝ කෝවිඩ් 19 සඳහා මේ වන විට ලෝකයේ භාවීත වන අනෙකුත් එන්නත් අලුත් නිසා එන්නතින් ලැබෙන ආරක්ෂාව, ප්‍රතිශක්තිකරණය කොපමණ කාලයක් සපයනවාද. පවතිනවාද යන්න පිළිබදව තවම කිව නොහැක.

ඒ පිළිබදව තවමත් පර්යේෂණයන් සිදුවේ. කිසිදු එන්නතක් සියයට සියයක් සුරක්ෂිත නොවුණත් මෙම එන්නත් ඵලදායී බව පෙන්නුම් කර තිබේ. එමෙන්ම ජානමය හෝ ජීව විද්‍යාත්මක ලක්ෂණ හේතුවෙන් එන්නත්කරණයෙන් පසුව සුළු පිරිසකට බලාපොරොත්තු වන මට්ටමේ ආරක්ෂාවක් නොලැබී යාම සිදුවිය හැක. ලංකාව තුළ දැනට එන්නත්කරණය සිදුකරන කොවීෂීල්ඩ් ඇස්ට්‍රසෙනිකා (AstraZeneca) එන්නත හදිසි භාවිතය සඳහා ලැයිස්තු ගත කළ(EUL)එන්නතකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිතය සදහා ලැයිස්තුගත කිරීමේ ක්‍රියාවලිය විසින් මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවලදී නව සෞඛ්‍ය නිෂ්පාදනවල යෝග්‍යතාවය තක්සේරු කරනු ලබයි.

එහි අරමුණ වන්නේ ඖෂධ, එන්නත් හා රෝග පරීක්ෂක මෙවලම් හැකි ඉක්මනින් ලබාගෙන හදිසි අවස්ථාවක් සම්බන්ධයෙන් කටයුතු කිරීමයි. එහිදී ආරක්ෂාව, සඵලතාව, ගුණාත්මකභාවය පිළිබඳව දැඩි නිර්නියක අනුගමනය කරයි. හදිසි අවස්ථා විසින් මතුකර තිබෙන තර්ජනය හා යෝජිත නිෂ්පාදනයේ අවදානම සම්බන්ධයෙන් ලබාදෙන වාසි අවාසි පිළිබදව එහිදී තක්සේරු කරයි. විවිධ සාමාජීය මත හේතුන්වෙන් එන්නත් ලබා ගන්නා පිරිස් සිටියි. විශේෂයෙන් ඌරන්ගේ සහ ගවයන්ගේ ශරීරයේ ද්‍රව්‍ය යොදා ගනිමින් මෙම එන්නත් නිෂ්පාදනය කරන බව සමාජයේ විවිධ ජන කොට්ඨාස තුළ පැතිරෙන මතයකි. නමුත් කෝවිඩ් 19 සදහා භාවිත කරන එන්නත් වලට ඌරන්ගේ සහ ගවයන්ගෙන් ලබාගන්නා ද්‍රව්‍යයන් අන්තර්ගත නොමැති බවද පැවසිය යුතුය.

 (කැළුම් දේවින්ද)