bandula-sahana-malla

සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ සෑම නගරයකදීම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු සහන මල්ලක්
ජංගම රථවලින් මිලදී ගැනීමට හැකි වැඩපිළිවෙළක් සැකසීමට කටයුතු යොදා ඇති බව වෙළෙඳ ඇමැති
ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවැසීය.

මෙම වැඩපිළිවෙළ සඳහා  සතොස අලෙවිසල් ජාලය මූලික කර ගනිමින් ජංගම රථ සේවාවක් ක්‍රියාත්මක
කිරීමටත්  එමඟින් එතුළින් මුළු දිවයිනම ආවරණය වන පරිදි එම වැඩසටහන ක්‍රියාවකට නැඟීමටත් සතොස
ආයතනය වෙත අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවත් ඇමැතිවරයා පැවසුවේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්
කාර්යාලයේදී ව්‍යාපාරික ප්‍රජාව හමුවේ පැවැත්වූ රැස්වීමකදීය.

මෙය උත්සව සමය මූලික කරගත් නව වැඩපිළිවෙළක් වුවද කිසිදු බාධාවකින් තොරව මෙම වැඩසටහන
ක්‍රියාත්මක කිරීම සඳහා නිශ්චිත වූ ක්‍රමවේදයක් සකසා ඇති බවත්, හිඟයකින් තොරව භාණ්ඩ
පාරිභෝගිකයා වෙත ලබාදීම මඟින් පාරිභෝගික ද්‍රව්‍ය ලබාගැනීමේ අපහසුතා මඟහැරීමටද මෙමඟින්
හැකියාව ලැබෙනු ඇති බවත් ඇමැතිවරයා පැවැසීය.



අප්‍රේල් මස පළමුවැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි නව වැඩසටහන සකසා ඇති අතර සහල්, සීනි,
පිටි, පරිප්පු, හාල්මැස්සන් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙම සහන මල්ලට අයත් වන බවත්
ඇමැතිවරයා පැවැසීය.

සහන මල්ල මිලට ගැනීමට පැමිණෙන පාරිභෝගිකයන් විසින් කොවිඩ් -19 මර්දනය සඳහා වන සෞඛ්‍යාරක්ෂක
ක්‍රමවේද අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවත්, පෙරවරු 7.00 සිට රාත්‍රි 7.00 දක්වා  කාලය තුළ
මෙම ජංගම රථ මඟින් ‘සහන මල්ල’ මිලදී ගත හැකි බවත් ඇමැතිවරයා තවදුරටත් කීය.


සඳුනි ගමාරච්චි