colombo-oxygen

කොළඹ වායු කලාපයේ ඔක්සිජන් ප්‍රතිශතයේ අඩුවීමක් නැතැයි පරිසර අමාත්‍යාංශයේ  වායු සම්පත් කළමනාකරණ හා ජාතික ඕසෝන් ඒකකය සහ මධ්‍යම පරිසර අධිකාරිය එක්ව කළ සොයා බැලීමක දී හෙළි වී තිබේ.  කොළඹ නගරයේ ඔක්සිජන් මට්ටම ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව කොළඹ මහ නගර සභාවේ නිලධාරීන් පිරිසක් පරිසර  අමාත්‍යාංශයේ ඉකුත්දා පැවැති සාකච්ඡාවකදී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ප්‍රකාශ කළ අතර ඒ පිළිබඳව වහා සොයා බලන්නැයි අමාත්‍යවරයා වායු සම්පත්  කළමනාකරණ ඒකකයට හා මධ්‍යම පරිසර  අධිකාරියට උපදෙස් දුන්නේය.



ඒ අනුව කළ අධ්‍යයනයකින් පසු එම අංශ දෙක විසින් සකස් කරන ලද වාර්තාවක් අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට ලබා දී ඇති අතර එම වාර්තාව අනුව කොළඹ වායු කලාපයේ ද ඔක්සිජන් හිඟයක් ඇතැයි පෙනී නොයන බව පරිසර අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවැසීය.   වායු ගෝලයේ ඔක්සිජන් මට්ටම ගෝලීය වශයෙන් ඉතා කුඩා ප්‍රමාණවලින් අඩුවෙමින් පවතින අතර එම අඩුවීම වසරකට ඔක්සිජන් අණු මිලියනයකට අණු 19ක් පමණ වන බව ද පෙන්වා දුන්නේය.

මෙම අඩුවීම ශාක හා සත්ව ප්‍රජාවන්ට මෙම මානව සෞඛ්‍යයට කිසිදු බලපෑමක්  ඇති නොවන තරමට සුළු කාරණයක් බව විද්‍යාත්මක සමීක්ෂණ මගින් තහවුරු වී  ඇතැයි ද හෙතෙම කියා සිටියේය. තවද වායු තත්ත්ව මිණුම් ලබා ගැනීමේ ප්‍රධාන වශයෙන් වායු දූෂණ කාරක ලෙස හඳුනාගෙන ඇති කාබන් මොනොක්සයිඩ් පහළ වායු ගෝලීය ඕසෝන් ක්ෂුද්‍ර අංශු වැනි  සංඝටක පමණක් මිනුම් කරනු ලබන බව ඔහු පෙන්වා දුන්නේය.


එහෙයින් කොළඹ නගරයේ ජනගහනය වැඩි වුවද ඔක්සිජන් අඩුවීමක් අපේක්ෂා කළ  නොහැකි බවත් කෙසේ නමුත් පවතින කාලගුණික තත්ත්වයන්ට අනුවට වායුගුණාත්මක තත්වයේ විචලනයක් සිදුවිය හැකි බවත් අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට ලබා දී ඇති වාර්තාව පෙන්වා දී තිබේ.
 - එම්. ගමගේ -