මියන්මාරයේ ක්‍රියාත්මක හමුදා පාලනයට එරෙහිව රට පුරා සංවිධානය කෙරෙන උද්ඝෝෂණයෙන් පසුගිය ඉරිදා (14දා) දිනයේදීත් දරුණු මට්ටමට පැවැති බව සදහන් වෙයි. එහිදී පොලිස් නිලධාරින් ඇතුළු ආරක්ෂක අංශ විසින් එම විරෝධතාකරුවන් වෙත එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් 38දෙනෙකු මියගොස් ඇතැයි පැවසෙයි. 

එසේම මෙම ගැටුම්වලදී එක් පොලිස් නිලධාරියෙකුද ජීවිතක්ෂයට පත්ව ඇත. ඒ අනුව මේ දක්වා ගැටුම්වලින් මිය ගොස් ඇති පොලිස් නිලධාරින් සඛ්‍යාව 2කි. ඒ අනුව මියන්මාරය තුළ හමුදා කුමන්ත්‍රණය ආරම්භ කෙරුණු පසුගිය පෙබරවාරි 01දා සිට මේ දක්වා කාලය තුළදී ඇති වූ ගැටුම් නිසා එරට පුද්ගලයන් 126දෙනෙකු පිවිතක්ෂයට පත්ව ඇත. එසේම තවත් බොහෝ පිරිසක් මින් තුවාල ලබා තිබේ. මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන සංඛ්‍යාව 2,000කට අධික වෙයි.මේ අතර විරෝධතා දරුණු ලෙස පවතින යැන්ගොන් නගරයේ ප්‍රදේශ දෙකක් වෙත හමුදා නීතිය පැනවීමටත්,එරට වත්මන් හමුදා පාලනය පසුගිය ඉරිදා සිට පියවර ගෙන ඇත. එහි පිහිටි චීන කර්මාන්තශාලා රැසක් මේ වනවිට ගිනිබත්ව ඇති බවත්, ඒවායේ බඩු භාණ්ඩ මංකොල්ල කෑමකට ලක්ව ඇති බවත් පැවසෙයි. මෙම තත්වය පාලනය සඳහා ඒ වෙත හමුදා නීතිය පැනවූ බව හමුදා පාලනය සඳහන් කරයි.