එදා විදුලි පුටුව ගැන කිවා මෙන් ආණුඩුවෙන් අද ගිලිහෙන ජන බලය රැක ගැනීමට ජාත්‍යන්තර බලපෑම් නාටකය නිර්මාණය කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කොළඹදී පැවසීය.   “මැතිවරණයක් ළඟ එන විට ජාත්‍යන්තර බලපෑම් එල්ල වී රට ආසීරු තත්වයට පත් වීමට වඩා මැතිවරණ ජයග්‍රහණය ආණ්ඩුවට වැදගත් වී ඇතැයිද" මන්ත්‍රීවරයා සඳහන් කළේය. කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මෙසේද කීවේය.  



මේ රජය බලයට ආපු ප්‍රධානම කාරණාව පාස්කු ප්‍රහාරය පිටුපස සිටින පුද්ගලයන් නීතිය හමුවට ගෙන එනවා කියන කාරණාව. මේවා කියා රටේ 69 ලක්ෂයක් ජනතාව රැවට්ටුවා.  ප්‍රහාරය වැළැක්වීමට නොහැකි වීම ගැන බලධාරීන් වගකිව යුතුයි. ඒ ගැන කිසිම තර්කයක් නැහැ. ප්‍රහාරය පිටුපස සිටින පුද්ගලයන් කවුද කියා රටට හෙළි කර ඔවුන් නීතිය හමුවට කැඳවීම ඉතා ඉක්මනින් විය යුතුයි.  පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ මහ මොළකරුවන් පිළිබඳව කිසිදු සඳහනක් නැහැ. ඒත් දේශපාලන වේදිකාවේ විවිධ පිරිස්වලට ඇඟිල්ල දික් කළා. අපට තිබෙන සැකය තමයි ජනාධිපතිවරයා ඇතුළු රජය පත්වෙලා අවුරුදු එක හමාරක් ගතවෙලත් තවම මේ ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් ඉටු නොවීමයි.

ඒ අවස්ථාවේ බලයේ හිටපු රජය ප්‍රහාරයට වගකිව යුතුයි කියා ජනාධිපතිවරයා පැවසුවා. 2015ට කලින් පැවැති රජය යටතේ මාධ්‍යවේදීන් කීදෙනක් අතුරුදන් වුණා ද කියා ඔබ දන්නවා,ලසන්ත වික්‍රමතුංග ඝාතනය වුණා. ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් වුණා තවත් මාධ්‍යවේදීන් සිය ගණනක පිටි පස්සේ සුදු වෑන් ආවා. ඒ අයගේ අත පය කැඩුවා. මධ්‍ය ආයතනවලට  බෝම්බ ගැහුවා ගිනි තිබ්බා. 2015ට කලින් වෙච්ච හැම සිදුවීමකටම ඒ රජයේ වග කියනවද කියා අප අහනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය දේශපාලන කාරණයක් කරගන්න එපා කියා අප රජයෙන් ඉල්ලා සිටිනවා.

එකිනෙකාට බෝලය පාස් කරමින් ඉන්නේ නැතුව  වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන එන්න.  සහරාන්ට නායකත්වය දුන්න පිරිසක් ඉන්නවා කියා පොලිස් ප්‍රධානීන් පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. සහරාන් ඇතුළු කණ්ඩායමට නායකත්වය දුන්නේ කවුද කියන එක රටට හෙළි කළ යුතුයි. ඒ වගේම බෝම්බ කරුවන්ගේ බිරිද සාරා ඉන්දියාවට පලා ගිහින් තිබෙනවා. ඒ අය ලංකාවට ගෙන්නන්න කටයුතු කරන්නේ නැත්තේ  ඇයි?



අපේ රට අද රටවල් අතර ඇතිවෙලා තිබෙන බල අරගලයට මැදිහත් වෙච්ච රටක් බවට පත්වෙලා 2015ට පෙර පැවති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය චීනය සමඟ ඕනෑවටත් වඩා ළගින් ගනුදෙනු කළා. ඒ නිසා තමයි ඇමෙරිකාව ඇතුළු බටහිර රාජ්‍ය අපේ රටට යම් යම් බලපෑම් එල්ල කරන්න පටන් ගත්තේ.  මහින්ද රාජපක්ෂ මහතා විදුලි පුටුවට ගෙන එනවා කියලා එදා වේදිකාවක් වේදිකාවක් ගානේ කිය කිය ගියා.

2015 න් පසු අපේ රජය රාජ්‍ය තාන්ත්‍රික ලෙස ප්‍රශ්නය විසඳන්න කටයුතු කළා. නැවතත් රාජපක්ෂ පාලනය මේ රාජතාන්ත්‍රික අර්බුදයකට රට පත් කරලා ඒ නිසා තමයි ජිනීවා මානව හිම්කම් කොමිසම තුළින් අපේ රටට විවිධ බලපෑම් එල්ල කරමින් සිටින්නේ.  වගකිව යුතු විපක්ෂයක් විදියට අප රටත් එක්ක හිට ගන්නවා. මේ ආණ්ඩුව මොනවා කළත් අපට රටක් තිබෙන්න ඕනෑ. ඒ නිසා තමයි අප මේ ආණ්ඩුව පැත්තකින් තියා රට වෙනුවෙන් හිට ගන්නේ. අපේ යුද හමුදා නිලධාරීන්ට චෝදනාව එල්ල වෙලා තිබෙනවා නම් වගකිය යුතු විපක්ෂය විදියට අප ඒ අය වෙනුවෙන් පෙනී සිටිනවා.

මේ වගේ ප්‍රශ්නයක් තිබෙන අවස්ථාවකදීත් ඇයි රජය මේ ආකාරයෙන් හැසිරෙන්නේ රාජපක්ෂ රජය දිගින් දිගටම රට අර්බුදයට පත් කරන්නේ රටට තිබෙන ආදරයට වෙන්න බැහැ. මොකද ජාත්‍යන්තර රටට බලපෑම් කරන විට ජනතාවගේ හදවත් උණු වෙනවා. මැතිවරණය ළඟ එනවිට එදා විදුලි පුටුව ගැන කිව්වා වගේ ජාත්‍යන්තර බලපෑම්  නාටකය නිර්මාණය කරනවා.

ජාත්‍යන්තර බලපෑම් එල්ල වෙලා රට අසීරු තත්වයට පත් වීමට වඩා මැතිවරණ ජයග්‍රහණය තමයි අද මේ ආණ්ඩුවට වැදගත් වෙලා තිබෙන්නේ.  ජාත්‍යන්තර කාන්තා දිනය සමරද්දි ලෝකයේ කිසිම රටක නොවූ දෙයක් අපේ රටේ සිද්ධ වුණා. කාන්තා දිනය දවසේ තමන්ගේ අයිතිවාසිකම්  වෙනුවෙන් පෙළපාළි ගිය කාන්තාවන්ට දැවැන්ත  ප්‍රහාරයක් රජයෙන් එල්ල වුණා.  තම අයිතිවාසිකම්  වෙනුවෙන් පාරට බැහැපු කාන්තාවන්ට එල්ල වූ ප්‍රහාරය අපි හෙළා දකිනවා වගේම ඒ ගැන කනගාටු වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රරන්න මහතා.

‘“මේ රජය යටතේ විශාල පරිසර හානිය වෙමින් තිබෙනවා. එක පැත්තකින් වැලි කපනවා, පස් කපනවා, කැලේ කපනවා. මේ වගේ ජාවාරම් දිගින් දිගටම දෙනිකව වාර්තා වෙනවා.  මේ මාස 15 තුළ වූ දැවැන්ත පරිසර හානිය ඉතිහාසයේ කිසිදු රජයක් යටතේ සිදුව නැහැ. මේ වන විනාශය පිටි පස්සේ හුගක් දේශපාලනඥයන් සිටිනවා. අපේ දරුවන්ගේ පරම්පරාවලට හුස්ම ගන්න බැරි තත්ත්වයටම ප්‍රශ්නය උග්‍ර වෙලා.


 -නිමල කොඩිතුවක්කු -