මරදාන සංඝරාජ මාවතේ පිහිටි ආපන ශාලාවක ඊයේ (24වැනිදා) අලුයම හටගත් ගින්නකින් අරක්කැමියන් මියගොස් තවත් සේවකයන් දෙදෙනකු පිළිස්සුම් තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ බලපිටියේ පදිංචි ලසන්ත ගමගේ නමැති 42 හැවිරිදි තැනැත්තකු බව  පොලිසිය පවසයි.  අරක්කැමි පුද්ගලයා ඊයේ අලුයම 5.30 ට පමණ ආහාර  පිසිමින් සිටියදී එකවර විශාල හඬක් නංවමින් ගෑස් සිලින්ඩරය පිපිරීමෙන් මෙම ගින්න හටගෙන ඇති බවද පොලිසිය සඳහන් කරයි.




පෙරවරු 6.00 ට පමණ සිද්ධිය ගිනි නිවන හමුදාව වෙත දැනුම් දීමෙන් පසු ගිනි නිවන හමුදාවේ ගිනි රථ පහක් සමග ගිනි නිවන නිලධාරින් 15 ක් පමණ පොලිසියේ සහයෙන් එම  ස්ථානයට ගොස් පැයක පමණ කාලක් තුළ ගින්න නිවා දැමූ බව ගිනි නිවන හමුදා ආරංචි මාර්ග කියයි.  මුළුතැන්ගෙයින් පිටවීමට දොරක් නොමැති හෙයින් අරක්කැමි පුද්ගලයා මුළුතැන්ගෙයි සිරවී ඇති  බවත් සෙසු පිරිස ගින්න පැතිරීමත් සමග ඉවතට පැන ගැනීම නිසා ඔවුන් සුළු තුවාල ලබා සිටි බවත් ගිනි නිවන හමුදා ආරංචි මාර්ග පවසයි.  ගින්න හටගෙන විනාඩි කිහිපයක් එහි සිටි පිරිස්  ගින්න නිවීමට උත්සාහ ගෙන ඇති අතර ගින්න පැතිරීයාම නිසා ඔවුන් ගිනි නිවන හමුදාවට දැනුම් දී ඇති බවද ගිනි නිවන හමුදා ආරංචි මාර්ග පවසයි.


ගින්න පැතිරීමත් සමග මුළුතැන් ගෙයි සිරවී සිටි අරක්කැමියා එහි බිත්තියක් කඩා ඉවතට ගෙන ඇති අතර එම අවස්ථාවේ ඔහු බරපතළ පිළිස්සුම් තුවාල ලබා සිටි බවද ගිනි නිවන හමුදාව පවසයි.  මාලිගාකන්ද වැඩබලන මහේස්ත්‍රාත් හිමාලි ඒකනායක මහත්මිය සිද්ධිය වූ ස්ථානයට පැමිණ මූලික මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණය සිදුකර පශ්චාත් මරණ පරික්ෂණ සිදුකිරීමට නියම කළාය.   මරදාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නලින් ජයසුන්දර මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.


 -ඉන්දිකා රාමනායක-