පියා පැදවූ මෝටර් රථය බෝක්කුවකින් පහළට පෙරළී සිදුවූ අනතුරකින් අට හැවිරිදි දියණියක මරණයට පත්වී ඇතැයි රාජාංගනය පොලිසිය පවසයි. අනුරාධපුර - පුත්තලම ඒ-12 ප්රධාන මාර්ගයේ රාජාංගනය තරුණ ගොවිපොළ හන්දියට නුදුරු ඇද බෝක්කුවෙන් පහළට පෙරළී මේ අනතුර සිදුවී තිබුණේ ඊයේ (30 වැනිදා) අලුයම 3.45 ට පමණ බව පොලිසිය කියයි.
අනතුරින් මරණයට පත්වූයේ නොච්චියාගම, කොකාවිද්දවැව ලෙලනි නෙහාරා නැමැති දැරියකි. දැරිය, මව, පියා සහ සහෝදරියන් දෙදෙනා සමග පියා පැදවූ මෝටර් රථයෙන් බෙලිඅත්ත බලා ගොස් ආපසු නිවස බලා පැමිණෙමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ පා තිබෙන බව අනතුර සම්බන්ධයෙන් රාජාංගනය පොලිසිය සිදුකළ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.
මෝටර රථය පැදවූ දැරියගේ පියාට නින්ද යාමෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි. බෝක්කුවෙන් පහළට පෙරළුණු මෝටර් රථයේ සිටි දිවි බේරුණු දියණියන් දෙදෙනා සහ බිරිය දියේ ගිලෙන්නට නොදී බේරාගෙන ඇත්තේද මෝටර් රථය පැදවූ පියා විසිනි. එහෙත් අනතුරින් පසු දියට වැටී අතුරුදන් වූ මියගිය මේ බාල දියණිය සොයා ගැනීමට ඔහුට නොහැකි වී තිබිණි.
අනතුර දැනගත් වහාම සිද්ධිය වූ ස්ථානයට ගොස් පරික්ෂණ සිදුකළ රාජාංගනය පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක අශෝක රණසිංහ මහතා ඇතුළු නිලධාරින් දියට බැස සිදුකළ සොයා බැලීමේදී අතුරුදන් වූ බාල දියණියගේ මළසිරුර හමුවී තිබිණ. මෙම අනතුරින් තවත් දියණියකට හා මවට තුවාල සිදුවී තිබූ බැවින් ඔවුන් දෙදෙනා ප්රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු බව රාජාංගනය පොලිසිය පවසයි. මේ අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරන රාජාංගනය පොලිසිය මෝටර් රථය පැදවූ මියගිය දැරියගේ පියා අත්අඩංගුවට ගෙන තඹුත්තේගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
0 Comments