ජපානයේ සිට රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවකුගේ නමට නැව් මගින් එවා තිබු පෙට්ටි තොගයක් අතර තිබූ පිස්තෝලයක් සහ උණ්ඩ 06ක් රේගු ගමන් භාණ්ඩ අංශයේ නිලධාරින් පිරිසක් විසින් කොළඹ දෙමටගොඩ සිලෝන්  ෂිපිං ලයින්ස් බන්ධිත ගුදමේ දී ඉකුත් 19 වැනිදා පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා පැවසීය.

  මෙම පිස්තෝලය ඇමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත කෝල්ට් වර්ගයේ එකකි. මෙහි උණ්ඩ පිටවන බැරලය ගලවා ඉවත් කර තිබිණි. මෙම පුද්ගලයාගේ නමට පෙට්ටි 16ක් එවා තිබූ අතර, මෙම පිස්තෝලයේ ගලවා ඉවත් කර තිබූ  බැරලය සොයා එම පෙට්ටි සියල්ලම රේගු නිලධාරීන් විසින් දැඩි පරික්ෂාවට ලක්කර තිබේ.


සෙල්ලම් පිස්තෝල යැයි සඳහන් කරමින් ජපානයේ සිට මෙම භාණ්ඩ එවා තිබූ බව ද කියති. මෙම භාණ්ඩ තොගය රේගුවෙන් මුදාගෙන යෑමට රත්නපුර ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයා 19 වැනිදා පස්වරුවේ දෙමටගොඩ ගමන් භාණ්ඩ අංශයට පැමිණ තිබූ අතර ඔහුත් මෙම පිස්තෝලය සහ උණ්ඩත් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙමටගොඩ පොලිසිය වෙත භාර දී තිබේ.  මෙම පුද්ගලයා වෙත එවා තිබු භාණ්ඩ පෙට්ටි තවදුරටත් විශේෂ ආරක්ෂාව යටතේ මෙම බන්ධිත ගුදමේ තැත්පත් කර තැබීමට ද රේගු නිලධාරීන් පියවර ගෙන ඇත.




මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව  වැඩිදුර විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ රේගු අධ්‍යක්ෂ නියාස්, රේගු අධිකාරි තිළිණි පෙරේරා, සහකාර  රේගු අධිකාරීවරුන් වන එම්.පී.ඒ. නයනජිත්. "සසංක ලියනාරච්චි, ඩිලානි සිරිමාන්න සහ ගාස්තු නිලධාරී ටී. යෝගනාදන් යන නිලධාරිහු සිදු කරති. මෙම සිද්ධිය පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගෙන් කළ විමසුමේදී පැවසුවේ අදාළ පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.  මෙම පුද්ගලයා පිළිබඳව දෙමටගොඩ පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.


  - ටී.කේ.පී. කපිල-