vaccine-que

කොවිඩ් මර්දන එන්නත ලබා දීමේ දී පෝලිමේ නොසිට ප්‍රමුඛත්වය ලබා දිය හැකි බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් 1000 ක අල්ලසක් ලබාගත් කොළඹ නගර සභාවේ සුළු  සේවකයකු පෙරේදා (6) අත්අඩංගුවට ගත් බව මරදාන පොලීසිය පවසයි.  මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ නගර සභාවේ බීජ නාශක සහ තෙල් ගැසීම් යන්ත්‍ර ක්‍රියාකරුවකු වශයෙන් සේවය  කරන (40) හැවිරිදි පුද්ගලයෙකි.



මරදාන දෙමටගොඩ පාරේ ඉස්ලාමීය සංස්කෘතික මධ්‍යස්ථානයේ එන්නත් දෙන ස්ථානයට පැමිණි සැකකරු පෝලිමේ නොසිට එන්නත ලබා ගැනීමට ප්‍රමුඛතාව සලසන බවට එහි සිටි පිරිසකට පවසා ඇති අතර පුද්ගලයෙකුගෙන් රුපියල් 1000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගෙන ඇති බව  පොලිසිය කියයි.  එම ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි උපපොලිස් පරික්ෂක දිසානායක මහතාට සැකකරු සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත ඔහු දුන් උපදෙස් අනුව පොලිස් කොස්තාපල්වරයකු (91067) සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු පරීක්ෂාවට ලක් කිරීමේ දී ඔහුගේ සාක්කුවේ රුපියල් 20,500 ක මුදලක් තිබී ඇත.  සැකකරු මේ ආකාරයට පවසා පුද්ගලයන් රැසකගෙන් මෙම මුදල් ලබාගෙන ඇති බවට හෙළි වූ බව පොලිසිය සඳහන් කරයි.  සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිය.  මරදාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින් ජයසුන්දර මහතාගේ උපදෙස් මත පරික්ෂණ පැවැත්වේ .

-ඉන්දිකා රාමනායක-