රුපියල් දස දහසක අල්ලස් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැලිවේරිය පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් කණ්ඩායමක් විසින් එම පොලිස් ස්ථානයේදීම පෙරේදා (29) අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර ඔහු ඒ අවස්ථාවේ දී එම මුදල් නෝට්ටු ගිල දමා ඇතැයි වාර්තා වෙයි.   සැකකාර ප්‍රධාන පොලිස් පරික්ෂක අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු පුද්ගලයෙකුගෙන් එම අල්ලස් මුදල  පොලිසියේ කම්බි වැට අතරින් ලබාගත් අවස්ථාවේ දී යැයි අල්ලස් කොමිසම පවසයි.




ලොරි රථ ආරවුලක් සම්බන්ධයෙන් කර ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් නීත්‍යනුකූලව කටයුතු නොකර සිටීම සඳහා සැකකාර ප්‍රධාන පොලිස් පරික්ෂක වැලිවේරිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන්  මෙම අල්ලස් මුදල ලබාගෙන ඇතැයි විමර්ශනවල දී තොරතුරු හෙළිවූ බව කොමිසමේ නිලධාරියෙක් පැවැසීය.  පැමිණිල්ල සමතයට පත්කර දෙන බව පවසා රුපියල් 15,000 ක මුදලක් ඉල්ලා එම මුදලින් රුපියල් 10,000 ක මුදලක් පොලිසිය ඉදිරිපිට දකුණු පස කම්බි වැට අතරින් ලබාගෙන සුළු පැමිණිලි අංශයට පැමිණෙමින් සිටිය දී අල්ලස් හෝ දූෂණ  විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීමත් සමගම සැකකරු එම මුදල් මෙසේ ගිල දමා ඇතැයි කියති.




වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරින් සැකකරු පසුව ගම්පහ රෝහලට ඇතුළත් කිරිමට පියවර ගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.  මේ අතර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ගිල දැමූ මුදල් ඊයේ (30) සවස වනතුරුද ගැනීමට නොහැකි වූ බව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතා පැවැසීය.  පොලිස් නිලධාරියාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වාර්තවක් ඉදිරිපත් කරන  ලෙසට මහේස්ත්‍රාත්වරයා දැනුම් දී ඇතැයි අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.  සැකකරු ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 6 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත  කරනු ලැබ සිටී.


මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින්නේ ජනකාන්ත ද සිල්වා නැමැති ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙකි.  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණි වීරසූරිය මහත්මියගේ උපදෙස් මත එහි විශේෂ  විමර්ශන නිලධාරීහු කණ්ඩායමක් මෙම වැටලීම කර වැඩිදුර පරීක්ෂණ පවත්වති.