තමා සමග අනියම් සම්බන්ධයක් පැවැත්වූ කාන්තාවකගේ 7හැවිරිදී එකම දියණියට කාටුන් චිත්‍රපට පෙන්වා පසුව කඩල ලබාදී බරපතළ ලිංගික අතවර කළ බව කියන පෙදරේරුවාට එරෙහිව නීතිපතිවරයා විසින් මීගමුව මහාධිකරණ විනිසුරු ආර්. ඩී.පී.පී. රත්නායක මහතා හමුවේ නඩු පවරා විත්තිකරුට අධිචෝදනා ඉකුත් 27 භාරදෙන ලදී. බාල වයස්කාර දැරියකට බරපතළ ලිංගික අතවර කිරීමේ අධි චෝදනා ලැබූ විත්තිකරු වූයේ ආඩිඅම්බලම පදිංචි ඩබ්ලිව්.ඒ. ලලිත් විජේවර්ධන (26) නමැත්තෙකි.

මොහු විවාහකයකු වන අතර එක්දරු පියෙකි.විත්තිකරුගේ අනියම් බිරිය සේවයට ගොස් සිටි අවස්ථාවේදී විත්තිකරු එම දැරියට කඩල ගොටක් දී කාටුන් ටෙලිනාට්‍යයක් පෙන්වා පසුව දැරිය බියට පත්කොට ඇයට බරපතළ ලිංගික අතවර කර ඇති බව අධිකරණය හමුවේ අනාවරණය වී තිබේ.අධිචෝදනා භාරදීමෙන් අනතුරුව අත්අඩංගුවේ පසුවූ විත්තිකරු සුදුසු ඇපයක් මත මුදා හරින ලෙසට විත්තියේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මනේෂ් වෑවිට මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව විත්තිකරු රුපියල් 25,000 ක මුදල් ඇප සහ  සහ රුපියල් ලක්ෂ 5 බැගින් ශරිර ඇපකරුවන් දෙදෙනෙකුගේ ඇප මත විත්තිකරු අත්අඩංගුවෙන් මුදා හැරිමට අධිකරණය නියෝග කළේය.රජයේ අධිනීතිඥ ගයනි වෑගොඩපොල මහත්මිය පැමිණිල්ල මෙහෙයවිය. විත්තිය වෙනුවෙන් නීතිඥ ප්‍රසාද් චතුරංග මහතා සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ මනේෂ් වෑවිට මහතා පෙනී සිටියේය. මිනුවන්ගොඩ පොලීසිය පැමිණිල්ලට සහය විය. වැඩිදුර විභාගය මැයි මස (6) වෙනි දින පැවැත්වේ.

 (මීගමුව අධිකරණ - ඩබ්ලිව්. කීර්ති)