apeksha-hospital

මහරගම අපේක්ෂා රෝහලට රෝගියකු සමග පැමිණි මහමෝදර රෝහලේ අධ්‍යක්‍ෂවරයා එහි කාර්ය මණ්ඩලයට පරුෂ වචනයෙන් බැණවදිමින් කලබලකාරි තත්වයක් ඇති කළ බවට අපේක්ෂා රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට පැමිණිලි කර ඇත.   මෙම රෝහලේ අධ්‍යක්ෂවරයා තම රෝගියාට ප්‍රතිකාර කිරීම පමා වූ බව කියමින් රෝහල්  විකිරණ අංශයේ භෞතික විද්‍යාඥයන් සහ විකිරණ ශිල්පීන්ට මෙලෙස පරුෂ වචනයෙන් බැණ වැදී ඇති බවත්,

එයට විරෝධය පා එම නිලධාරින් ඊයේ (16) සේවයෙන් ඉවත් කිරීමට පවා උත්සාහ කළ බවත් මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වසන්ත දිසානායක මහතා  පැවැසීය.


තමන් මැදිහත් වී කරුණු පැහැදිලි කරදීමෙන් පසුව එම වැඩවර්ජනය වළක්වා ගැනීමට හැකි වූ බව කී වෛද්‍ය වසන්ත දිසානායක මහතා එවන් ක්‍රියාමාර්ගයක් ගත්තේ නම් දෛනිකව ප්‍රතිකාර  ලැබීමට පැමිණෙන රෝගීන් 300ක් පමණ දැඩි අපහසුතාවට පත්වන බව කීවේය.  අදාළ රෝගියාට ප්‍රතිකාර ලබාදීම පමා වී ඇත්තේ එම රෝගියාට සම්බන්ධ කළ වෛද්‍ය උපකරණ ගලවා ගැනීම නිසා නැවත සවිකරන්නට සිදුවීමෙන් බව ද ඔහු පැවසීය.  කොරෝනා වසංගත තත්ත්වය හමුවේත් රෝගීන් වෙනුවෙන් කැපවී කටයුතු කරන තම කාර්ය මණ්ඩලයට මෙවැනි සිද්ධියකට මුහුණදීමට සිදුවීම කනගාටුවට කරුණක් බව ද හෙතෙම සඳහන් කළේය.



-ඩයනා උදයංගනී-