තියුණු ආයුධයකින් ගෙල කපා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගුවන් හමුදා සෙබළකු සහ ඔහුගේ බිරිද තියුණු ආයුධය ද සමග ඊයේ (30දා) අලුයම පොලීසියට පැමිණ භාර වී ඇතැයි සීගිරිය පොලීසිය පවසයි. අලුත්ගම, මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි අනූෂ උදය කුමාර නමැත්තෙකු මෙම සිද්ධියෙන් පිවිතක්ෂයට පත්ව තිබේ. මේ අතර සීගිරිය නව නගරය ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ තිබී එම පුද්ගලයාගේ සිරුර ඊයේ (30දා) අලුයම සීගිරිය පොලීසිය මගින් සොයාගෙන තිබිණි.
පොලීසියට භාර වී ඇති සීගිරිය ගුවන් හමුදා කඳවුරේ සේවය කරන අයෙකු සහ ඔහුගේ බිරිද සීගිරිය නව නගරය ආසන්නයේ කුලී නිවසක පදිංචිව සිට ඇතැයි පොලීසිය පවසයි.
සැකකාර ගුවන් සෙබළාගේ බිරිද සමග මියගිය පුද්ගලයා අතර කාලයක් තිස්සේ අනියම් ඇසුරක් පවත්වා තිබෙන බවත් එම ඇසුර නිසාම මැල්සිරිපුර ප්‍රදේශයේ සිට ගුවන් හමුදා සෙබළා නිවසක් කුලියට ගෙන දරුවන් දෙදෙනාත් සමග සීගිරියේ පදිංචියට පැමිණ දින පහළොවකට ආසන්න වන බවද පොලිස් පරික්ෂණවලදී හෙළි වී තිබේ. දිගින් දිගටම තමන්ට කරදර කිරීම් හේතුවෙන් මෙම ඝාතනය සිදු කොට ඇති බව පොලීසියට භාර වූ යුවළ ප්‍රකාශ කොට ඇතැයි පොලීසිය පවසයි. ඝාතනය සිදු වූ ස්ථානයට දඹුල්ල සහකාර පොලිස් අධිකාරී ඒ.එස්.කේ. බණ්ඩාර මහතා සීගිරිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.එස්.ඩබ්ලිව්.එම්.යූ. කොබ්බෑකඩුව අපරාධ අංශ ස්ථානාධිපති එච්.එම් හේරත් යන මහත්වරු සහ තවත් පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වන්නට වූහ.
මෙම පුද්ගලයන් රැදී සිටි බව කියන නිවස ද පොලීසියේ දැඩි පරික්ෂවට ලක් වූ අතර එහි සිට මීටර් 200ක් පමණ දුරින් සිගිරිය පව්ව ආසන්නයේ ප්‍රධාන මාර්ගය අසල තිබී ගෙල කපා ඝාතනය කොට තිබූ පුද්ගලයාගේ සිරුර සොයා ගත් බවද පොලීසිය පවසයි. මේ අතර මියගිය පුද්ගලයාගේ බිරිද සහ ඥාතීන් පැමිණ එම ස්ථානයේ හඩාවැටෙන්නට වූහ. පසුව පොලීසිය එම පිරිස පාලනය කිරීමේ දී ඥාතීන් සමග උණුසුම් තත්වයක් ද ඇති විය. මියගිය පුද්ගලයාගේ ඥාතීන් කියා සිටියේ මියගිය පුද්ගලයා සහ ඝාතනයට භාර වූ කාන්තාව අතර වසර ගණනාවක සිට ප්‍රේම සම්බන්ධතාවක් පැවති බවය.
මීට ඉහතදී මෙම මියගිය තරුණයා ගුවන් හමුදා සෙබළාගේ බිරිද සමග වෙනත් ප්‍රදේශයකට පැනගොස් සිටි බවත් පසුව නැවත පොලීසිය හරහා සමාදාන වී පැමිණි බවද කියයි. මියගිය පුද්ගලයාගේ බිරිද ඇයගේ මවගේ නිවසේ දරුවන් සමග රැදී සිටින බවත් මෙම මියගිය පුද්ගලයා තනිවම නිවසේ රැදී සිටින බව ද ඥාතීහු පැවසූහ. සීගිරිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.එස්. ඩබ්ලිව්.එම්.යූ. කොබ්බෑකඩුව මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් සිද්ධිය පිළිබද වැඩිදුර පරික්ෂණ පවත්වති.
-එස්.කරුණාරත්න-
0 Comments