සිංහරාජ කැලෑව මුදුනේ වැව් සාදන බවට පළවන වාර්තා අසත්‍ය බවත් එම කැලෑව මුදුණේ වැවි සෑදීමේ කිසිදු සැලැසුමක් නැති බවත් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) පැවැසීය. මාධ්‍ය මේ ආකාරයට ජනතාව ඇවිස්සීම වැරැදි යැයි ද ඔහු කීය. ඇමැතිවරයා මෙසේ පැවැසුවේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා (ස.ජ.බ.) මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. චමල් රාජපක්ෂ මහතා එහිදී මෙසේ ද පැවැසීය.
“නිල්වලා හා ගිං ගඟේ ගංවතුර ගැලීම් නිසා විශාල හානියක් සිදුවෙනවා. කළු ගගේ, ගිං ගඟේ හා නිල්වලා ගඟේ වතුර ඊශාන දිගට යෑමේ සැලැස්මක් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වසර අනුවක සිට තියෙනවා. . නමුත් කිසිම ආණ්ඩුවක් මේවා කරලා නැහැ. ජල පිපාසයෙන් පීඩාවට පත්වුණු විශාල ජන කොටසක් ඉන්නවා. ඉතින් ඒ නිසා මෙම්ක කවදා හරි කෙරෙන ඕන. ගිං ගඟේ පහළ ජනතාව පදිංචිව සිටින කොටසේ අක්කර පහක පොඩි ජලාශයක් සෑදීමට සැලැසුමක් තියෙනවා. ඒක සැලැස්මක් විතරයි. අපි ඒ සැලැස්ම යුනෙස්කෝ සංවිධානයට ඉදිරිපත් කරලා තියෙනවා.
ඒත් කටයුතෙන් යම්කිසි හානියක් සිදුවෙනවා ද කියලා බලන්න, අධ්‍යයනය කරලා තීරණයක් දෙන්න. එහෙම නැති වුණොත් ගංවතුර වැළැක්වීමත් ජල පිපාසාවෙන් සිටින ජනතාවගේ ප්‍රශ්නයට විසඳුමක් නැති වෙනවා. අප සෑම ව්‍යාපෘතියක්ම ක්‍රියාත්මක කරන්නේ සියලු දේ බලලයි. නැතිව ආවාට ගියාට ක්‍රියාත්මක කරන්නේ නැහැ. නමුත් මාධ්‍යවල ප්‍රකාශ වුණේ සිංහරාජ කැලේ මුදුණේ වැව් හදනවා කියලයි. ඒක වැරැදියි. මාධ්‍ය රටේ ජනතාව අවුස්සන්න හොඳ නැහැ. මෙතැනදී කිව්වේ මොකක් ද කරන්නෙ මොකක් ද කියලා හොයලා බලන්නේ නැතිව කටයුතු කරන්න එපා. ඔබතුමාලාත් මේ ගැන මැදිහත් වෙලා බලන්න මොකද වෙන්නෙ කියලා” යැයි ඇමැතිවරයා කීවේය.
-සුජීත් හේවාජුලිගේ-
0 Comments