chilaw-kumuduni-story

තිස් වසරක් පුරා පැවති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී අවසන් සටනින් රට බේරාගැනීමේ සටනේ දී ආබාධිත තත්වයට පත් ශ්‍රී ලංකා යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවෙහි රණවිරුවකුගේ විවාහ මංගල්‍යයක් උත්සවශ්‍රීයෙන් වැනිදා සිදු කෙරිණි.මෙම මංගල්‍යය සිදු වූයේ 2009 අප්‍රේල් 24 වැනිදා පුදුමාතලන් සටනේදී පාදයක් අහිමි වූ ගාල්ල, උඩුගම පදිංචි තිළිණ සම්පත් රණවිරුවා සහ හලාවත, අඩිප්පල පදිංචි නිලූෂා කුමුදුනී අතරය.



ශ්‍රී ලංකා යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ කෝප්‍රල්වරයකු වන 35 හැවිරිදි තිළිණ සම්පත් රණවිරුවා 2007 වසරේ යුද හමුදාවට බැඳී ඇති අතර වසර දෙකක කාලයේ දී ත්‍රස්තවාදීන් සමග කළ සටනේදී ප්‍රහාරයකට ලක්ව දකුණු පාදයේ කොටසක් අහිමි වූ රණවිරුවෙකි.මෙම විවාහ මංගල්‍යයෙහි විශේෂත්වය වන්නේ ගම්පහ "සියනෑවේ අපි" සංවිධානය මගින් රට ජාතිය වෙනුවෙන් සටනට වැද ආබාධිතයන් තත්වයට පත් රණවිරුවන් විවාහ කරවීමේ 12 වැනි විවාහ මංගල්‍යය ලෙස, විවාහයේ සියලුම වියදම් දරමින් "යුතුකමේ උපහාරය"ක් ඉටු කිරීමය.



විවාහය පෝරුවේ චාරිත්‍ර ඇතුළු සියලුම කටයුතු සිදු කිරීමෙන් අනතුරුව විවාහය ලියාපදිංචි කිරීම සිදු කිරීම සමස්ත ලංකා විවාහ සහ උපත් ලියාපදිංචි කිරිමේ සංගමයේ නියෝජ්‍ය සභාපති සමරවීර දිසානායක මහතා විසින් සිදු කළ අතර විවාහයේ මනාලයා වෙනුවෙන්, ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් ආනන්ද සෙනරත් බණ්ඩාර මහතා ද මනාලිය වෙනුවෙන් මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති හා කමාන්ඩෝ රෙජිමේන්තු ආඥාපති උපාලි රාජපක්ෂ මහතා ද අත්සන් කළහ.දෙපාර්ශ්වයේ ඥාතීන් සහ යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවෙහි උසස් නිලධාරින් පිරිසක් සමග ගම්පහ "සියනෑවේ අපි" සංවිධානයේ සාමාජිකයෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ගම්පහ - තිලකරත්න දිසානායක)