chinthaka-jayasinghe

කාලයකට පසු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින් උනන්දුවෙන් බැලූ ලෙජන්ඩ්ස් තරගාවලිය ඊයේ නිමාවට පත්විය. එහි අවසන් තරගයේදී ශ්‍රී ලංකාව ඉන්දියාවට පරාජය වුවත් අවසන් ඕවරය දක්වාම කරට කර තරගයක් ලබාදෙන්නට අපේ පැරණි ක්‍රීඩකයින් දැක්වූ උපරිමය විශිෂ්ටය. මේ අතර කියැවුණ එක් නමකි චින්තක ජයසිංහ. 

ඔහු ලංකාවේ ක්‍රීඩා කළ කාලය ඇතැමුනට මතක නැත. නමුත් ඔහුගේ දක්ෂතාවන් ඊයේ තරගයට ජීවයක් එක්කරන ලදි.
මීට ටික කලකට පෙර ඕස්ට්‍රෙලියාවේ බස් එළවන බව කියා ඕස්ට්‍රෙලියානු මාධ්‍ය මගින් ලිපි පළ කර තිබුනේ සුරාජ් රන්දිව් හා චින්තක ජයසිංහ දෙන්නා ගැනය.
තේරීම් මණ්ඩලයේ පක්ෂපාත තීරණ හේතු කොට ලංකාවේ ක්‍රිකට් විනාශවූ බව බොහෝ අය පිළිගන්නා සත්‍යයකි. චින්තක කපා හැරීමද එවැන්නකි. චින්තක ලංකාව අහිමි කරගත් විශිෂ්ට ක්‍රීඩකයෙකු බව මේ සමග ඇති සටහනින් පෙන්වා දෙයි.
-------------

හල්වතුරගේ චින්තක උමේෂ් ජයසිංහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන් ක්‍රිකට් පටන් ගත්තු ක්‍රීඩකයෙක්. පාසලේ වයස අවුරුදු 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ 19න් පහළ යන කණ්ඩායම් සියල්ලේම නායකත්වය දැරීමටත් චින්තකට පුළුවන් වුනා.
අඛණ්ඩව 1994/95, 1995/96, 1996/97 තරග වාර තුනේදීම පාසල් ක්‍රිකට් පිටියේ ලකුණු 1000 ඉක්මවමින් වාර්තා පොත් අලුත් කළ චින්තකට ශ්‍රී ලංකා වයස 19 පහළ කණ්ඩායමේ ස්ථානයක්ද හිමි වෙනවා.
1995/96 සීසන් එකේදී කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහිව තරගයක ඉනිම් දෙකේදීම ශතක දෙකක් රැස් කරගෙන වාර්තා පොත් අලුත් කරපු ඒ සිදුවීම අදටත් කතා වෙන දෙයක්.
වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස චින්තක ජයසිංහ සම්මාන ලැබූ විටත් බොහෝ දෙන කිව්වේ චින්තා නම් නැෂනල් ටීම් ෂුවර් කියලයි.
අගනුවර පාසලක හිටියා නම් මහේල ට වගේම අවධානයක් චින්තා ටත් හිමි වෙන්න තිබ්බා කියලා ඒ කාලේ කතාවකුත් තිබ්බා.


පළමු පෙළ තරගවලදී බ්ලූම්ෆීල්ඩ්, බී.ආර්.සී., එන්.සී.සී., චිලව් මේරියන්ස් කියන ක්ලබ් වලට සෙල්ලම් කරපු චින්තක ජයසිංහ පළමු පෙළ තරගවලද වාර්තා පිහිටවූ සුපිරි ක්‍රීඩකයෙක්.
2008/2009 සීසන් එකේ තරඟාවලියේ වීරයා සම්මානය ලැබෙන්නේ චින්තක ජයසිංහ ට.
2010/2011 සහ 2011/12 සීසන් වල වේගවත්ම ශතකය, වැඩිම 6 පහර ඇතුළු වාර්තා රැසක් අලුත් කරන චින්තක ජයසිංහ 2010/11 ප්‍රිමියර් ලීග් තරගාවලිය දිනා දෙන්නට බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට නායකත්වය පවා ලබාදෙනවා.
පළමු පෙළ තරග (First-class, List A, T20s) අතරේ ලකුණු 9000 ද ඉක්මවා ගිය චින්තක, බෝලර් කෙනෙක් හැටියට කඩුලු 240 ක් ඉක්මවා ලබා ගෙන තියෙනවා.
චින්තකගේ ප්‍රවේගකාරී පිතිකරණය නිසාම ඔහුට පස් වතාවක් "හොංකොං සය සාමජික තරගාවලිය" වෙනුවෙන් අප රට නියෝජනය කරන්නටද වරම් ලැබෙනවා.
ඔහු 2012 Sri Lanka Premier League තරගාවලිය ජයගත් Uva Next කණ්ඩායමේ සාමාජිකයෙක්.
2009 නාග්පූර් හිදී ඉන්දියාවට එරෙහිව T20 ජාත්‍යන්තර වරම් දිනන ජයසිංහ 2010 විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් ද කණ්ඩායමට කැඳවනවා.
ඔහුගේ තරග 5 ක ජාත්‍යන්තර T20 කතාවත් ඒ ලෝක කුසලානයත් එක්කම ඉවර වෙනවා.
එතනින් පසු කිසිම විටෙක ජාත්‍යන්තර ක්‍රිකට් දොර චින්තකට විවර නොකරවන්න එදා පාලනාධිකාරය වග බලා ගත්තේ ඔවුන්ගේ දිගින් දිගටම ෆේල් වෙන සුරතලුන්ට ඉඩකඩ ලබා දෙන ගමන් වීම දැඩි කතාබහක් ඒ වකවානුවේ ඇති කළා.
2014 චින්තා ක්‍රිකට් වලින් සමුගන්නවා.
දැන් චින්තකට වයස අවුරුදු 42ක්.
අපිට ආයේ චින්තකව හම්බෙන්නේ මේ ටිකේ ඉන්දියාවේ පවතින Road Safety World Series T20 tournament එකේ Sri Lanka Legends ටීම් එකේ සාමාජිකයෙක් හැටියට.
ඒ වගේම ළඟදී දැඩි කතාබහට ලක් වුණු "ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ඕස්ට්‍රේලියාවේ බස් රියදුරන් වෙයි" නිව්ස් එකේ සුරාජ් රන්දීව් එක්ක ඉන්න අනිත් කෙනා වෙන්නෙත් චින්තක ජයසිංහ.
ලංකාවේ ක්‍රිකට් විසින් නැති කරගත් සුපිරි ක්‍රීඩක චින්තක ජයසිංහ...
ඔබට ජය...

සටහන -  විකුම් හර්ෂණ