coconut-fraud-facebook

මුහුණු පොතේ පොල් විකිණීමට ඇතැයි දැන්වීම් පළ කරමින් ලක්ෂ එකහමාරක මුදලක් ගිණුම්ගත කර ගනිමින් පොල් වංචාවක් සිදු කළ බව කියන සැකකරුවෙකු (14) අත්අඩංගුවට ගත් බවත් අනිත් සැකකරු සොයා මෙහෙයුමක් දියත් කර ඇති බවත් මොරටුව පොලිසිය කියයි.   රාවතාවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් මුහුණු  පොතෙන් හඳුනාගනු ලැබූ පුද්ගලයකු පළකළ දැන්වීමකට අනුව පොල් ඇණවුමක් භාරදී පොල් වංචාවක් සිදු කළ බව  කියමින් සැකකරුට එරෙහිව ලැබුණු පැමිණිල්ලකට අනුව මොහු අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.

මුහුණු පොතේ පලව තිබූ පොල් දැන්වීමකින් ව්‍යාපාරිකයා ලබාදුන් ඇනවුමකට අනුව පොල්  ලොරියක් පැමිණ ව්‍යාපාරිකයාට අයත් වෙළෙඳ සැලට පොල් බෑම සිදු කර ඇත.

ඇනවුම් කළ බව කියන පොල් ව්‍යාපාරික ස්ථානයට බාන අතරතුර දී මුහුණු පොතේ පුද්ගලයා විසින් ව්‍යාපාරිකයාට ඇමතුමක්   ගෙන පොල්වල සියලු මුදල් සිය ගිණුමට බැර කරන  ලෙස දන්වා ඇත. ඒ අනුව ව්‍යාපාරිකයා  පොල් බාන අතරතුර දී ඔහුගේ ගිණුමට මුදල් බැර කර ඇතැයි පොලිසිය ප්‍රකාශ කළේය. නමුත් මේ රැගෙන ආ පොල්වලට ලොරි රථයේ රියදුරා ද මුදල් ඉල්ලා ඇති අතර එහිදී ව්‍යාපාරිකයා පවසා ඇත්තේ පොල් සඳහා මුදල් ගෙවීම සම්පූර්ණයෙන් මුහුණු පොතේ පුද්ගලයාගේ ගිණුමට බැර කර ඇති බවයි.

එහිදී උරණ වූ පොල්  ගෙන ආ ලොරි රථයේ රියදුරා සහ ව්‍යාපාරිකයා අතර බහින්බස්වීමක් ඇති වී  ලොරි රථ රියදුරා පවසා ඇත්තේ මුහුණුපොතේ පොල් විකිණු අයත් තමාත් අතර  කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. එහෙයින් තමා රැගෙන  ආ පොල් සඳහා ගෙවිය යුතු ලක්ෂ එකහමාරකට ආසන්න මුදල් තමාට ලබා දෙන  මෙන්ද ඔහු ඉල්ලීය.

මෙය සැලසුම් සහගතව සිදුකරන ජාවාරමක් බවට තොරතුරු අනාවරණය වීම හේතුවෙන් අදාළ ලොරි රියැදුරා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.  පොල් ලබා දෙන බව පවසමින් මුදල් බැංකු ගත කර ගනු ලැබූ වංචාකරු සොයා පරික්ෂණ කණ්ඩායම් යොදවා ඇති බව සඳහන් කරන පොලිසිය ගිණුම් අංක ඔස්සේ අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වෙනු ඇතැයි වැඩිදුරටත් පැවසිය.

ව්‍යාපාරිකයා විසින් මුහුණු පොතේ පොල් විකිණු අයගේ ගිණුමට බැර කරනු ලැබූ මුදල් පිළිබඳ සඳහන් වෙන බැංකු ගිණුම් තොරතුරුවලට අනුව මෙහි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට ක්‍රියාත්මක බවත් පොලිසිය වැඩිදුරටත් පැවසීය.   අත්අඩංගුවට ගත් පොල් ලොරියේ හිමිකරු මාතර ප්‍රදේශයේ පදිංචිකරුවකු බව ද පොලීසිය පැවසීය.

 -රේඛා තරංගනී-