මෙරට වෙළෙඳ පොළේ සහ දැනට රේගුවේ පවතින පිරිපහදු නොකළ විදෙස් පොල්තෙල් ෆාම් තෙල් පරික්ෂණයක් කර මිනිස් පරිභෝජනයට සුදුසු දැයි අලුත් අවුරුද්දට පෙර ජනතාව දැනුවත් කළ යුතු බව සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී. සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා සහ සම කැඳවුම්කරු තුෂාර විජේසිංහ යන දෙදෙනා ඊයේ (23) දඹුල්ලේදී මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම හෙළිදරව්ව කළේය.
මේ වනවිට පිරිපහදු නොකළ පොල් තෙල් සහ පොල්තෙල් වෙනුවට ගෙන්වන ලද ආදේශක තෙල් විශාල තොගයක් වරායේ තිබෙන බවත් කන්ටේනර් 13 ක බහාලු එවැනි තෙල් පරික්ෂා කර බැලීමේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු පිළිකා කාරක සහිත බව හෙළිවී තිබෙන බවත් එම වාර්තාව ලැබෙන විටත් එම තෙල් තොගය රටපුරා බෙදා තිබෙන බවත් එහි ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පැවැසීය. අලුත් අවුරුද්ද ඉලක්ක කර ගෙන මෙරට අවශ්‍යතාවට වඩා වැඩි පිරිපහදු නොකළ පොල් තෙල් තොග මේ වනවිටත් මෙරටට ගෙන්වා ඇති බව කියයි.
රජය මහජනතාවට පොල් තෙල් සඳහා ලබාදෙන බදු සහන වංචා කරමින් ඉතා රහසිගතව එම බදු මුදල් ලබාගැනීමේ ක්‍රමවේදය පිළිබඳව ද මෙම සංවිධායකවරයා හෙළිදරව් කළේය. මෙහිදී සම කැඳවුම්කරු තුෂාර විජේසිංහ මහතා කියා සිටියේ මෙරට වෙළෙඳපොළට නිකුත් වී ඇති පොල්තෙල් සහ විදේශ වලින් ගෙන්වා වරායේ ඇති ලපාතල් හා පාම් ඔයිල් සියල්ල මිනිස් පරිභෝජනයට සුදුසු ඒවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළ යුතු බවත් එසේ නොමැති වුවහොත් මහජනතාව සමග අලුත් අවුරුද්දේ අහාර පාන සැකසීම වර්ජනය කිරීම ආදී විරෝධතා රට පුරා ක්‍රියාත්මක කරන බව ය.
විදේශවලින් මෙරටට ගෙන්වන පිරිපහදු නොකළ පොල් තෙල්වල කොටස් මෙන්ම පිරිපහදු කිරීමෙන් ඇතිවන තත්ත්වය පිළිබදව මෙම මාධ්‍ය හමුවේදී පෙන්වා දුන් ඔවුන් පවසන්නේ මෙම පිරිපහදු නොකළ ෆාම් ඔයිල් සහ පොල්තෙල් නමින් ගෙන්වන ආදේශක තෙල්වල ඇල්ෆා ටෝක්සින් නැමැති පිළිකා කාරකය බහුලව පවතින බවය. මෙම විශේෂ මාධ්‍ය හමුව අමතමින් සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා මෙසේ පැවසීය.
අපෙ රටට ජනවාර් සහ පෙබරවාරි මාසයේ මෙට්‍රික් ටොන් හතළිස් දාහක් පමණ ආදේශක තෙල් ගෙන්වා තියෙනවා. අපනයනකරුවන් එයින් මෙට්‍රික් ටොන් තිස් හත්දහක් බදු සහන යටතේ ලංකාවට ගෙන්වා තියෙනවා. ඒ සඳහා බිලියන 10.5 ක මුදලක් වියදම් කර තියෙනවා." තෙල් ආනයනය කළ ප්‍රධාන පෙළේ අයකු ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය දැනුවත් කර තිබුණා මෙම තෙල්වල ඇල්ෆා ටෝක්සීන් කියන පිළිකා විෂකාරක රසායනික ද්‍රව්‍යය අඩංගු වෙලා තියෙනවා කියලා.
මේ වනවිට එවැනි කටේනර් 13 පරික්ෂණයට ලක් කළා. එම පරීක්ෂණ වාර්තාව ලැබෙන කොට එම කන්ටේනර් දහතුනේම පිළිකා සහිත මෙම විස කාරකය තියෙනවා කියලා තහවුරු කරගෙන තියෙනවා. නමුත් අවාසනාවන්ත කමට එම තෙල් සියල්ල නිෂ්කාශනය කරගෙන අරන් ගිහින් විකුණලා අවසන් වෙලා තියෙනවා.” යැයිද ඔහු කීය.
-කාංචන කුමාර ආරියදාස-
0 Comments