coconut-oil-issue

ආනයනික පොල්තෙල් තොග කීපයක අන්තර්ගත යැයි කියන ඇෆ්ලටොක්සින් නමැති පිළිකාකාරකය ආහාර පිසීමට පොල්තෙල් රත්කරන උෂ්ණත්වයේ දී විනාශ වන්නේ නැතැයි  ආහාර උපදේශක කමිටු සාමාජික කොළඹ මහ නගර සභාවේ නාගරික රස පරීක්ෂක ආචාර්ය ආර්. එම්.ජී.බී රාජනායක මහතා  පැවැසීය. 

ඇෆ්ලටොක්සින් යනු අංක එකේ පිළිකාකාරකයක් යැයි ද, පුස් කෑ කොප්පරාවලින් තෙල් නිපදවීම ඇෆ්ලටොක්සින් හට ගැනීමට ප්‍රධාන හේතුවක් යැයි ද ආචාර්ය රාජනායක මහතා කීය. ප්‍රමිතියෙන් යුතු අමුද්‍රව්‍ය භාවිත කරගෙන පොල්තෙල් නිෂ්පාදනය කරන්නේ නම් මෙවැනි ප්‍රශ්න ඇතිනොවන්නේ යැයි ඔහු කීවේය.

 ඒ අනුව ඇෆ්ලටොක්සින් හටගැනීම නිෂ්පාදන ක්‍රියාවලියේ අත්වැරදීමක් හැටියට හැඳින්වීමට කිසිදු අවස්ථාවක් නැතැයි ද ඔහු සඳහන් කළේය. ඇෆ්ලටොක්සින් අන්තර්ගත පොල්තෙල් කිසිදු අයුරකින් මිනිස් පරිභෝජනයට සුදුසු නැතැයි ද ඒවා විනාශ කිරීම හැර අන් විකල්පයක් නැතැයි ද ආචාර්ය රාජනායක මහතා සඳහන් කළේය.


 -බිගුන් මේනක ගමගේ -