coconut-tree-sri-lanka

පොල්ගස් කැපීම තහනම් කිරීමට රජය සූදානම් වේ.ඒ අනුව පොල් ගස ගස් හෙලීමේ පනතට ඇතුලත් කෙරේ. දැනට මෙම පනත මඟින් කොස්, දෙල් හා තල් ගස් කැපීමට අවසර ලබාගැනීම අනිවාර්ය කර තිබේ. මේ වසර තුල මේ සඳහා අවශ්‍ය පියවර ගැනෙන බව වැවිලි කර්මාන්ත ඇමති රමේෂ් පතිරණ මහතා පවසයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩි දියුණු කිරීමේ කමිටුවේදී ඇමතිවරයා මේ බව සඳහන් කලේය. කමිටු රැස්වීම රමේෂ් පතිරණ සහ ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) නයිවල ජයසිංහ උත්සව ශාලාවේදි පැවැත්විණ.



ඇමති රමේෂ් පතිරණ මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ පොල් ඉඩම් කට්ටි කර විකිණීම සම්බන්ධයෙන් දැනට පවතින නීතිරීති සංශෝධනය කිරීමට අපේක්ෂා කරන බවයි. අක්කර 10කට වැඩි පොල් ඉඩමක් කට්ටි කිරීමට නම් අනුමැතිය ලබාගත යුත්තේ පොල් සංවර්ධන මණ්ඩලයෙනි. අක්කර 2කට වැඩි ඉඩම් කට්ටි කිරීමට පොල් සංවර්ධන මණ්ඩලයේ අනුමැතිය අනිවාර්ය කිරීමට අපේක්ෂා කරන බවද ඇමතිවරයා මෙහිදී සඳහන් කලේය. ඊට අඳාලව පනත් සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් අංශ වෙත යොමු කර තිබේ.

පොල් මිල ස්ථාවරව පවත්වා ගෙන යාම සඳහා රජයේ අපේක්ෂාව බවත් ඒ සඳහා දැනටමත් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතා මෙහිදී සඳහන් කලේය.

මෙරට වාර්ෂික පොල් නිෂ්පාදනය බිලියන 2.8කි. මේ නිසා පොල් වගා කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා රජය විශේෂ අවධානය යොමු කර තිබේ. පසුගිය රජය විසින් අකර්මන්‍ය කර ඇති කප්රුක සමිති නැවත ආරම්භ කෙරේ.පොල් වගාව සඳහා කන්න ණය යෝජනා ක්‍රමයක්ද හඳුන්වා දීමට නියමිතයි.ඒ අනුව 3.5% පොළියට මිලියන 3ක් දක්වා පොල් වගාවට අවශ්‍ය ණය පහසුකම් ලබා දීමට අපේක්ෂා කරන බවද රාජ්‍ය ඇමතිවරයා මෙහිදී සඳහන් කලේය.පොල්තෙල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය සඳහා ද පියවර ගැනේ. පොල් වගා කිරීමේදී අවශ්‍ය ජල පහසුකම් ලබාගැනීම සඳහා අක්කරයකට රු.40,000ක මුදලක් ලබා දීමටද සැලසුම් කර ඇතැයි අරුන්දික ප්‍රනාන්දු මහතා මෙහිදී සඳහන් කලේය.