කෝවිඩ් 19 වෛරසයට එරෙහිව දෙනු ලබන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්රසෙනිකා එන්නත ලබාගත් පුද්ගලයන්ට ප්‍රමාණවත් තරම් එම එන්නතෙහි දෙවැනි මාත්‍රාව ලබාගැනීමට නොහැකි වේද යන සැකය ජනතාව අතර මතු වී තිබේ. කොවිෂීල්ඩ් එන්නතෙහි පළමු මාත්‍රාව විද අවසන් වන විට එහි දෙවැනි මාත්‍රාව ප්‍රමාණවත් තරම් මෙරටට ගෙන්වා ගැනීමට සෞඛ්‍ය බලධාරීන් අපොහොසත් වෙතැයි මතයක් ප්‍රචාරය වීමෙන් ජනතාව තුළ බියක් හටගෙන තිබේ.
මේ මතයෙහි සත්‍යතාවක් ඇත්දැයි දැන ගැනීමට අපි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂිඥ වෛද්‍ය සුදන් සමරවීර මහතා ඇමතුවෙමු. ඒ පිළිබඳ අදහස් දක්වමින් වෛද්‍ය සමරවීර මහතා පවසන්නේ මෙරට ජනතාවට අවශ්‍ය තරම් එන්නත් මාත්‍රා නොගයක් දැනටමත් සෞඛ්‍ය අමාත්‍යංශය සතුව පවතින හෙයින් ජනතාව ඒ පිළිබඳව අනියත බියක්ඇති කරගත යුතු නොවන බවයි.
දැනට ජනතාවට ලබාදෙන කොවිෂීල්ඩ් ඇට්රසෙනිකා එන්නත් මාත්‍රා දොළොස් ලක්ෂ හැටහතර දහසක් මුල් අදියරේදී ආනයනය කරන ලද අතර, මේ වන විට ඉන් එන්නත් මාත්‍රා ලක්ෂ අටකට අධික ප්‍රමාණයක් ජනතාවට ලබාදී ඇතැයි වෛද්‍ය සමරවීර මහතා පවසයි. පසුගිය ජනවාරී 29 වැනිදා පළමු එන්නත් මාත්‍රාව ලබාදුන් පුද්ගලයන්ට එහි දෙවැනි එන්නත් මාත්‍රාව ලබාදිමට නියමිතව ඇත්තේ අප්‍රේල් මස 29 වැනිදාය. පළමු එන්නත විදීමෙන් එකී දෙවැනි එන්නත් මාත්‍රාව අප්‍රේල් මස 19 වැනිදා පටන් ලබාදීමට සැලසුම් කර ඇතැයිද වෛද්‍යවරයා සංවිධානය විසින් ප්‍රකාශයට පත්කරන ලද අතරම, ඉන්දියාවේ නිෂ්පාදනය කරනු ලබන එන්නත් තොග සීමිත වන බවද වාර්තා වේ. එන්නත් සඳහා ලොව පුරා පවතින ඉල්ලුමට සරිලන වේගයකින් නිෂ්පාදනය නොවීමද එන්නත් ඉක්මනින් ලබාගැනීමට නොහැකි වනු ඇතැයිද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දක්වනු ලැබ තිබේ.
ඉන්දියාවේ ජනතාවට ප්‍රමාණවත් තරම් එන්නත් මාත්‍රා නොමැති වේද යන බියෙන් එන්නත ආනයනය කිරීම තහනම් කරන ලෙස ඉන්දියානු ජනතා සංවිධාන මගින් එම ඖෂධ නිෂ්පාදන සමාගමට එරෙහිව නඩුවක්ද පවරා ඇති නමුදු පොරොන්දු වූ ආකාරයට ශ්‍රී ලංකාවට අවශ්‍ය තරම් එන්නත් මාත්‍රා සංඛ්‍යාවක් ලබාදීමට ඉන්දීය රජය පොරොන්දු වී තිබේ. මැයි මාසය වන විට නිෂ්පාදන වේගය අඩුවීමේ ගැටලුවද විසදී ලංකා රජය මගින් ඇණවුම් කරන ලද දෙවැනි එන්නත් තොගය ලැබෙනු ඇතැයිද වෛද්‍ය සමරවීර මහතා විශ්වාසය පළ කරයි. ජනවාරි මස 29 වැනිදා පළමු එන්නත් මාතුව ලබාදුන් පුද්ගලයන්ට දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා එන්නත් තොගයක් වෙන්කර ඇති අතර, පළමු මාත්‍රාව ලබාදීමෙන් පසු සති 10-12 අතර කාලයක් තුළ දෙවැනි එන්නත් මාත්‍රාව ලබාදීම සිදුකෙරේ.
කොවිෂීල්ඩ් ඇස්ට්රසෙනිකා එන්නත් ලබාගැනීමෙන් අනතුරුව හිසරදය, අතපය වේදනාව, ඔක්කාරය හෝ විදපු ස්ථානයේ වේදනාව වැනි ලක්ෂණ දින තුනක් පමණ පැවතීම සාමාන්‍ය තත්ත්වයයි. මෙම රෝග ලක්ෂණ පාලනය සදහා වෛද්‍ය උපදෙස් මත පැරසිටමෝල් ඖෂධය අදාළ ඩමාත්රාවන් පමණක් ලබාගැනීම සුදුසුය. දින තුනකට පසුවද මෙම රෝග ලක්ෂණ පවතී නම් වෛද්‍ය උපදෙස් පැතීම හෝ රෝහල්ගත වීම සුදුසුය. හුස්ම ගැනීම් අපහසුතාව, ආසාත්මිකතා හෝ හිසේ රුදාවක් ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතුය.
පළමු එන්නෙත් මාත්‍රාව ලබාදුන් පුද්ගලයන් ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ හෝ වෙනත් රෝග ලක්ෂණ පිළිබද වාර්තා කළහොත් සති තුනක් යනතුරු පුද්ගලයාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ අවධානයක් යොදවා සොයා බලන බවද වෛද්‍ය සමරවීර පවසයි. එහෙයින් දින තුනකට වැඩිය ඉහත කී රෝග ලක්ෂණ පවතී නම් දැනට පිහිටි රෝහල් වෙත හෝ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ගොස් වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත් වේ.එන්නත විදීමෙන් පසු හෘදයාබාධ හෝ ශ්වසන අපහසුතා ඇතිවීමෙන් වූ මරණ දෙකක් පමණ වාර්තා වුවද, එම පුද්ගල මරණ සෘජුව එන්නත හේතුකොට ගෙන සිදු වූ ඒවා බවට වාර්තා වී නැත.
එන්නත විස වීමෙන් මරණයක් සිදු වූ බව හෝ දරුණු අතුරු ආබාධ ඇති වූ බවට මෙතෙක් අප රටෙන් වාර්තා නොවූ බවද වෛද්‍ය සමරවීර මහතා පවසයි.එන්නත ලබාගැනීමට හෝ එහි දෙවැනි මාත්‍රාව ලබාගැනීමට නොහැකි වේද යන බියෙන් එන්නත් විද ගැනීමෙන් වැළකී සිටිය යුතු නැතැයිද වෛද්‍යවරයා පවසයි. එන්නත විඳ ගැනීමෙන් පසු සති දෙක තුනක් ගත වනතුරු සුපුරුදු ජීවන රටාවෙන් පරිබාහිරව ශරීරය වෙහෙසන කටයුතු වලින් වැළකී සිටින ලෙසද, ශරීරය විජලනය වීම වළක්වා ගැනීම සදහා නිතරම පිරිසිදු ජලය හා පාන වර්ග ගන්නා ලෙසද හෙතෙම උපදෙස් දෙයි.
මේ දිනවල ඩෙංගු මෙන්ම වෙනත් ශ්වසන රෝග පැතිර යාමේ අවදානමක්ද ඇති හෙයින් දින තුනකට වඩා පවතින උණ, හිසරදය, අතපය වේදනාව හෝ හුස්ම ගැනීමේ අපහසුතාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙසද වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
(සාගරිකා දිසානායක)
0 Comments