covid19-tablet

"අයිවමැක්ටින්" නමැති පණු බෙහෙත් පෙත්තට, කොරෝනා වයිරසය අඩපණ කළ හැකි බවත්, කොරෝනා ආසාදිතයන් බොහෝ දෙනකු මෙම පණු බෙහෙත ලබා ගැනීමෙන් ඉක්මණින් සුවය ලබා ඇති බවත් දකුණු අප්‍රිකා මාධ්‍ය වාර්තා කරයි.  ‘අයිවමැක්ටින්' පණු බෙහෙත කොරෝනා වයිරසයට එරෙහිව ක්‍රියා කරනවාදැයි මෙතෙක් කිසිදු සායනික පර්යේෂණයකින් තහවුරු වී නැත. කෙසේ නමුත් දකුණු අප්‍රිකා වෛද්‍යවරුන් 'අයිවමැක්ටින්' පණු බෙහෙත් කොරෝනා රෝගීන්ට ලබා දෙන බවත්, එම රෝගීන් ඉක්මනින් සුවය ලබන බවත් එරට පුවත් සේවා  වාර්තා  කරයි. 




එන්නත්කරණ වැඩසටහන ආරම්භ වී ඇති නමුත් දකුණු අප්‍රිකාව දරුණු ලෙස කොරෝනා වයිරසයෙන් බැට කන රාජ්‍යයකි. මේ වනවිට කොරෝනා වයිරසය ආසාදනය වී සිදුවුණු මරණ 52,000 ඉක්මවා ගොස් තිබේ.  දකුණු අප්‍රිකාවේ පැතිරෙන කොරෝනා විකෘති “ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂිල්ඩ්“ එන්නතට පවා ආසාදනය වැළැක්වීම අසීරු විය. එහෙයින් දකුණු අප්‍රිකානුවන්ට ලැබෙන්නේ ඇමෙරිකාවේ ජොන්සන් ඇන්ජ් ජොන්සන් එන්නතය.  


නිරන්තරයෙන් විකෘති වන බැවින්, “කොවිඩ් 19' හෙවත්  නව කොරෝනා වයිරසය ගැන නිරන්තරයෙන් පර්යේෂණ කළ යුතු බවත් වයිරස විකෘති අඩපණ කිරිමට එන්නත් යවත්කාලීන කළ යුතු බවත් විද්‍යාඥයෝ පෙන්වා දෙති.  'කොවිඩ් 19' ආසාදනය වැළැක්වීමට නිපදවා ඇති  ප්‍රතිශක්තිකරණ එන්නත්, මේ වනවිට වඩාත් සාධනීය ප්‍රතිඵල පෙන්නුම් කළත්, එය නොකඩවා වැඩිදියුණු කළ යුතු බව ජගත් විද්‍යාඥයෝ අවධාරණය කරති.