අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත්වරයකුගේ නිවසට රතිඤ්ඤා පත්තු කරදමා ඔහුගේ ඉඩමක වැට කඩා දැමුවා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ රඳවා සිටි සැකකරුවකුට අත්තනගල්ල අංක 01 ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඉකුත් 25 වැනිදා මුදලින් රුපියල් පන්දහසක් හා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප නියම කළේය. වේයන්ගොඩ, පත්තලගෙදර විද්‍යා පීඨය අසල පදිංචි නාමල් යසරත්න නමැත්තකුට එසේ ඇප නියම කෙරිණි.
සොරකම් නඩුවක සැකකරුවන් දෙදෙනකු රිමාන්ඩ් කිරිම් සිද්ධියකට උරණ වී අත්තනගල්ල වැඩ බලන මහෙස්ත්‍රාත් , නීතිඥ ඇම්.කේ. ගුණසිංහ මහතාගේ නිවසට රතිඤ්ඤා පත්තු කර දමා ඒ මහතාගේ ඉඩමක වැටක්ද කඩා අලාභහානි කළ බවට කරන ලද පැමිණිල්ලකට අනුව නිට්ටඹුව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණ. ඉකුත් 25 වැනිදා නැවත නඩුව කැඳවූ අවස්ථාවේ රිමාන්ඩ් භාරයේ රඳවා සිටි සැකකරු අධිකරණයට ඉදිරිපත් නොකළ අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුමුදු හේවගේ මහතා කරුණු දක්වමින් මෙය ඉඩමක වැටක් සම්බන්ධව ඇති වූ සිවිල් ආරාවුලක් පමණක් බවත් රතිඤ්ඤා පත්තු කර දැමීමක් කර නැති බවත් කියා සිටිමින් වීඩියෝ දර්ශන ඇතුළත් සී.ඩී. තැටියක් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළේය.
මෙහිදී නිට්ටඹුව පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රවීන්ද්‍ර මහතා පරික්ෂණ පිළිබඳ වැඩිදුර වාර්තාවක්ද ඉදිරිපත් කළේය. මෙහිදී මහේස්ත්‍රාත්වරයා අධිකරණ කටයුතු තාවකාලිකව අත්හිටුවා විනිසුරු නිල මැදිරියට ගොස් විනාඩි පහළොවකින් පැමිණ නැවත අධිකරණ කටයුතු ආරම්භ කරමින් නඩුව නැවත කැඳවා බැලූ බැල්මට මෙය සිවිල් ආරවුලක් බවට පෙනී යන බව ප්‍රකාශ කරමින් සැකකරුට ඇප නියම කළේය.
මේ පිළිබඳව කරගෙන යන පරික්ෂණ කටයුතු දිගටම කරගෙන යන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නිට්ටඹුව පොලීසියට නියෝග කළේය. නඩුව නැවත කැඳවීම ජූනි මස 10 වැනිදාට කල් තැබිණ. සැකකරු වෙනුවෙන් නීතිඥ සුමුදු හේවගේ මහතා පෙනී සිටියේය. අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අත්තනගල්ල නීතිඥ සංගමයේ සාමාජික සාමාජිකාවන් පිරිසක් සමග එහි සභාපති, නීතිඥ සත් කස්තුරිරත්න මහතා පෙනී සිටියේය. නිට්ටඹුව පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රවීන්ද්‍ර මහතා වැඩිදුර වාර්තාව ඉදිරිපත් කළේය.
- ආනන්ද ඉ ජයකොඩි-
0 Comments