අපනයන සීමාකර ඇති මෝර වරල් තොගයක් හොංකොං වෙත නීතිවිරෝධී ලෙස අපනයනය සඳහා කොළඹ වරායේ රේගු අපනයන පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානය වෙත ගෙනැවිත් තිබියදී ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව, සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂා කිරීමේ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (22)දා රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව රේගු අධ්යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවින්ද්රීය මහතා පැවසීය.ජාත්‍යන්තර වෙළඳාම සදහා සීමා කර ඇති,
ආරක්ෂිත රතු විශේෂ ලැයිස්තුවට අයත්, රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා, හීන් මී මෝරා සහ උදළු මෝරා යන මෝර විශේෂ දෙකට අයත් වියලන ලද මෝර වරල් කිලෝග්‍රෑම් 250ක් පමණ මෙම අඩි 20ක් දිගැති බහාලුම තුළ තිබූ බවත්, මෙම වරල් තොගය ලබාගැනීමට මෙම මෝර මත්ස්‍යයන් 300කට අධික ප්‍රමාණයක් මරා දමන්නට ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
ශ්‍රී ලංකාවේ ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ, 2017/06/15 දින නිකුත් කර ඇති 2023/15 දරන ගැසට් නිවේදනය අනුව මෙම මත්ස්‍යයන් හා කොටස අපනයන කිරීම සදහා කල් ඇතිව අපනයන බලපත්‍ර ලබාගත යුතුය.එසේම තර්ජනයට ලක්වන ජීවින්ගේ ජාත්‍යන්තර වෙළඳාම සඳහා වූ සම්මුතිය යටතේද මෙම මත්ස්‍යයන් අපනයනය සදහා බලපත්‍ර ලබා ගත යුතුය.මෙම මෝර වරල් තොගය මීගමුව සහ පුත්තලම, කල්පිටිය ප්‍රදේශයෙන් අපනයනය සදහා සොයාගෙන තිබුණි.
මෙම මෝර වරල් තොගය මුලින්ම හොංකොං වත ගෙන යාමෙන් පසුව, තවදුරටත් ඒවා පිරිසිදු කර, යළිත් විඳීමට ලක්කර, තබා, සම ඉවත් කර අගය එකතු කර අවසාන, ප්‍රධාන වෙළෙඳ පොළ වන චීනය වෙත රැගෙන යන රේගුව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබේ.එහිදී මෙම මෝර වරල් කිලෝග්‍රෑමයක් ඇමෙරිකානු ඩොලර් 400ක් වැනි ඉහළ මිලකට අලෙවි වන බවට තොරතුරු වැඩිදුරටත් රේගුව සොයාගෙන තිබේ.එම චීන ජාතිකයන් මෙම මෝර වරල් භාවිතා කරමින් සුඛෝපභෝගී ආහාර සකස් කිරීමට මෙන්ම, විශේෂයෙන්ම වාජීකරණ ඖෂධයක් ලෙසද භාවිතා කරයි.එහිදී මෙම චීන අවන්හල් තුළ මෝර වරල් යෙදු සුප් බදුනක් ඇමෙරිකානු ඩොලර් 100කට අධික මිලකට අලෙවි වන බවද පැවසේ.ලෝකයේ බොහෝ රටවල මෝර මත්ස්‍යයන් ඇල්ලීම තහනම් කර ඇති නිසා, එම රටවල ධීවරයින් අල්ලා ගන්නා ලද මෝරුගේ වරල් කපා ගැනීමෙන් පසුව, යළිත් එම මෝරුන් මුහුදට දැමීම සිදුකරයි. මේ වනවිට මෙම මෝර වරල් තොගය අපනයනය සඳහා රැගෙන ආ මීගමුව ප්‍රදේශයේ අපනයන සමාගම් අධ්‍යක්ෂවරයෙකු රේගුව හමුවට කැඳවා ප්‍රකාශයක් ගැනීමට නියමිතය.රේගු අධ්යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතාගේ උපදෙස් සහ අධිකරණය යටතේ ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව, සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂා කිරිමේ ඒකකයේ නිලධාරින් පිරිසක් මෙම සිදුවීම පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.
(කටුනායක - ටී.කේ.ජි. කපිල)
0 Comments