denagama-drug-nabbed

දෙයියන්දර දෙනගම ප්‍රදේශයේ දී රුපියල් කෝටි 80 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකාර යුවළ මීට සති දෙකකට පමණ පෙරත් මේ ආකාරයෙන්ම හරක් කටා නමැත්තාගේ ම කුඩු කිලෝ 10 ක ප්‍රමාණයක් අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹට ප්‍රවාහන කර ඇති බවට පරීක්ෂණවල දී හෙළිවූ බව පොලිසිය කියයි. 

ඒ වෙනුවෙන් ජාවාරම්කරුවන් රුපියල් ලක්ෂ 2 ක පමණ මුදලක් මෙම යුවළට ගෙවා ඇති බව ද පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය. පොලිසිය පෙරේදා අලුයම කළ මෙහෙයුමේ දී හෙරොයින් කිලෝ 74 යි ග්‍රෑම් 975ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම යුවළ ළඟ තිබී හෙරොයින් කිලෝ 10ක් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකාරිය මහනුවර සුදුහුම්පොළ ප්‍රදේශයේ පදිංචි තිස්අට හැවිරිදි කාන්තාවක වන අතර රථයේ රියැදුරු වශයෙන් කටයුතු කළ සැකකරු මීගමුව කට්ටුව ප්‍රදේශයේ පදිංචි විසිනව හැවිරිදි තරුණයෙකි. සැකකාරිය එම තරුණයා හඳුනාගෙන ඇත්තේ මුහුණු පොත හරහා බවත් මත්කුඩු ජාවාරම සඳහා තරුණයා සම්බන්ධ කරගෙන ඇති බවට තොරතුරු හෙළිවී ඇති බවත් පොලිස් ආරංචිමාර්ග කියයි. සැකකාර යුවළ දින 7ක රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන තවදුරටත් ප්‍රශ්න කරමින් පසුවන බව පොලිසිය කියයි.

 (ඉන්දිකා රාමනායක)