dengue-mosquito
මෙරට පළමු වරට ව්‍යන්ධාකරණය කරන ලද පිරිමි ඩෙංගු මදුරුවන් පරිසරයට මුදා හැරීමේ නියමු ව්‍යාපෘතියක්, ගම්පහ කිඩගම්මුල්ල ප්‍රදේශයේ දී ඊයේ (29) පෙරවරුවේ සිදු කෙරිණි.
 
කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සහ ජාතික ඩෙංගු මර්ධන ඒකකය මගින් සිදු කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් දිවයිනෙහි ප්‍රථම වරට මෙම කාර්යය සිදු කළ අතර ඊයේ දිනයේදී ව්‍යන්ධාකරණය කරන ලද පිරිමි ඩෙංගු මදුරුවන් ලක්ෂයක් පරිසරයට මුදා හැරීම සිදු කරනු ලැබීය.

මදුරුවන් මුදා හැරීමේ අවස්ථාවේ දී අදහස් දක්වමින් කැලණිය විශ්වවිද්‍යාලයෙහි වෛද්‍ය පීඨයේ පීඨාධිපතිනී මහාචාර්ය ජානකී හේවාවසන්ති මහත්මිය සදහන් කර සිටියේ, වසර කිහිපයක් සිදු කරන ලද ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් එළිදැක්වීම මෙලෙස සිදු කෙරෙන බවත් මෙම ව්‍යාපෘතිය ඉතා සාර්ථකව සිදුවනු ඇති බවට තමන් විශ්වාස කරන බවත්ය.

මෙම අවස්ථාවට එක්ව සිටි ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා මෙසේ අදහස් දැක්වීය. ” ඩෙංගු මර්ධනය සදහා අද දින සුවිශේෂී සිදුවීමක් අද දිනයේ සිදු උනා.

ව්‍යන්ධාකරණය කරන ලද පිරිමි ඩෙංගු මදුරුවන් පරිසරයට මුදා හැරීමෙන් ගැහැණු සතුන් සමග එක්වීම තුලින් බෝවීමක් සිදු නොවීම මත මදුරු ගහණය පාලනයක් සිදු වෙනව.මෙය ලෝකයේ රටවල් කිහිපයක් භාවිතා කරන දියුනු ක්‍රමයක් .මෙහි නියමු ව්‍යාපෘතියක් ජාතික ඩෙංගු මර්ධන ඒකකය සමග එක්ව කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය මගින් ආරම්භ කිරීම තුලින් මෙරටින් ඩෙංගු තුරන් කිරීමට හැකි සුභදායක තත්ත්වයක් බව කිව හැකියි. “

ව්‍යාපෘතිය පිළිබඳව වෛද්‍ය පීඨයේ මහාචාර්ය මේනකා හපුගොඩ මහත්මියගේ අදහස් දැක්වීම. ” ගම්පහ, කිඩගම්මුල්ල ප්‍රදේශයෙන් රැගෙන ගිය මදුරු බිත්තරවලින් මදුරු ගහණයක් වෛද්‍ය පීඨයේ ඇති කළා.ඉන් පසුව පිලව් ව්‍යන්ධාකරණය කරනු ලැබුව.එය පිලවුන්ගෙන් බිහිවු මදුරුවන් මෙලෙස පරිසරයට මුදා හැරීම සිදු කරනු ලැබුව. අද සිට මාස තුනක් හෙක්ටර් යාර් තිහක ප්‍රදේශයකට සතියකට වරක් පිරිමි මදුරුවන් ලක්ෂයක් බැගින් මුදා හැරීමට පියවර ගනු ලබනව. ඉන් පසුව මෙම ප්‍රදේශයේ ඩෙංගු මදුරු ගහන ඝනත්වය අඩුවීමක් සිදුවේද යන්න සොයා බැලීමක් සිදු කෙරෙනව. මෙම නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත අනාගතයේ දී සෙසු ප්‍රදේශවලටද ව්‍යන්ධාකරණය කරන ලද පිරිමි ඩෙංගු මදුරුවන් පරිසරයට මුදා හැරීම සිදු කරනු ලබනව.



මෙම ව්‍යාපෘතිය සිදු කරනු ලබන්නේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ මූලික සහාය ඇතිවයි. මේ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සැරිසර අමාත්‍යාංශය මගින් අවසරය ලබා දීම සිදු කර තිබෙනව.

මේ සදහා මෙම ප්‍රදේශය තෝරා ගැනීම සිදු කළේ විශේෂ භූගෝලීය වශයෙන් හදුනා ගැනීමක් මතයි.අනෙක මෙම ප්‍රදේශයේ ඩෙංගු මදුරු ඝනත්වය වැඩි ප්‍රදේශයක් වශයෙන් හදුනා ගනු ලැබූව.”

මෙම අවස්ථාවට සහභාගි වී සිටි පරමාණුක බලශක්ති මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් තෙන්නකෝන් මහතා සදහන් කර සිටියේ , තාක්ෂණික සහාය ලබා දෙමින් මෙම සුවිශේෂී ව්‍යාපෘතියට තම ආයතනය දායකත්වය ලබාදීම සිදු කළ බවත් ඉදිරියට ජාත්‍යන්තරයේ අවශ්‍ය සහායද ලබාදීමට පියවර ගන්නා බවත්ය.

මෙම අවස්ථාවට කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරුන්, ජාතික ඩෙංගු මර්ධන ඒකකය නිලධාරීන්ද , ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා ඇතුලූ එම කාර්ය මණ්ඩලයේ පිරිසක් එක්ව සිටියහ.