dhamma-school-sri-lanka

බස්නාහිර පළාතේ දහම් පාසල් සියල්ල ලබන 21 වැනිදා (ඉරිදා) සිට නැවත ආරම්භ කෙරෙන බව සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන කෘත්‍යධිකාරී බස්නාහිර පළාතේ පුධාන සංඝනායක ශාස්ත්‍රපති ගෝණදුවේ ගුණානන්ද නාහිමියෝ පැවසූහ.

උන්වහන්සේ එසේ පැවසුවේ කළුතර බෝධි පරිශ්‍ර ධර්ම ශාලාවේ පැවැති සම්මන්ත්‍රණයකදීය.  ඔන්ලයින් ඔස්සේ පවත්වාගෙන යන උපකාරක පන්ති නිසා අනාගතයේ දී දහම් පාසල් අධ්‍යාපනයට බාධා එල්ලවිය හැකි බව ද උන්වහන්සේ අනතුරු හැඟ වූහ.


ඉරු දින දහම් පාසල් පෙරවරුවේ පැවැත්වෙන බැවින් එකී කාල සීමාව තුළ උපකාරක පංති නොපවත්වන ලෙසට කරන  ලද ඉල්ලීම ප්‍රතිඵල රහිත වී ඇතැයි ද උන්වහන්සේ පැවසූහ. උන්වහන්සේ වැඩිදුරටත් අදහස් පළ කළේ මෙලෙසිනි.  ඉරු දින පෙරවරුවේ දහම් පාසල් පවත්වන කාලසීමාව ඇතුළත උපකාරක පන්ති පැවැත්වීමට ඉඩ නොතබන්නැයි අපි වගකිවයුතු අංශ දැනුම්වත් කළා. ප්‍රතිඵල අසතුටුදායකයි. මේ උපකාරක පන්ති සම්බන්ධයෙන් බොහෝ කලක පටන් ශාසනිකවත් සාමාජීය වශයෙනුත් පුළුල් කථිකාවක් ගොඩනැගුවා එහෙත් සිදු වූ සෙතක් නෑ.. දහම් පාසල් සියල්ල බස්නාහිර පළාත තුළ මාර්තු මස 21 වැනි ඉරිදා නැවත ආරම්භ කරනවා. ඔන්ලයින් උපකාරක පත්ති සම්බන්ධයෙන් එහිදී කිසියම් නියාමනයක් කළ යුතු බව මම විශ්වාස කරනවා යැයි ද උන්වහන්සේ පැවසූහ.


 - සුනිල් බද්දෙවිතාන-