දිනේෂ්ගේ ගණිතය අනුව ජනාධිපති ධුරය ලැබිය යුත්තේ තමාට යැයි සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා කළ ප්‍රකාශයක් හේතුවෙන් සජිත් හා දිනේෂ් ගුණවර්ධන අතර බහින්බස්වීමක් මැතිසබයේ දී ඊයේ පෙරවරුවේ ඇති විය. දෙදෙනාගේ ඒවාදයට ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද මැදිහත්වීම නිසා සභාවේ ඇතිවූයේ ලොකු ගාලගෝට්ටියකි. 

'අපි කැමැති වුණත් අකමැති වුණත් ජිනීවා යෝජනාවට බහුතරයක් ඡන්දය දුන්නා. නමුත් අපේ දිනේෂ් ඇමැතිතුමා මෙතැන කිවේ අමුතු කතාවක්. යෝජනාවට පක්ෂව විසි දෙකක් ඡන්දය දුන්නා. එකොළහක් විරුද්ධ වුණා. දාහතරක් වැළකුණා කියලා. දිනේෂ්ගේ ගණනය කිරීම දිහා බැලුවම ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂට හැටනම ලක්ෂයයි. මට ලැබුණා පනස් පන් ලක්ෂයක්. හැබැයි ඡන්දය නොදුන්න විසිහත් ලක්ෂයක් හිටියා. මේ අනුව දිනේගේ ගණනය අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවීමට සුදුසු නැහැ. ඇත්තටම ජයග්‍රහණය කරලා තියෙන්නේ සජිත් ප්‍රේමදාස. මම මේ කියන්නේ ඔබතුමාගේ ගණනය කිරීම.මේයද නව රජයේ වියත් සුත්‍රය. සුත්‍රය එහෙම නම් ජනාධිපතිවරණයත් ඒ විදියටම ගණනය කරමු.” සජිත් පැවැසුවේ දිනේෂ් දෙස මහත් ඕනෑකමින් බලමිනි. මෙහිදී එකවරම සිය අසුනෙන් නැගී සිටි දිනේෂ් විරුද්ධ පක්ෂයේ නායකතුමා දන්නවා ජනාධිපතිවරණයේ ප්‍රතිඵල දෙන්නේ නීතියක් අනුව ඒකට නීතියක් තියෙනවා. මම විපක්ෂනායකතුමාගෙන් අහන්න කැමැතියි ඔබ ඉන්නේ කොයි පැත්තේ ද ලංකාවේ පැත්තේද ලංකාවට විරුද්ධ පැත්තේ ද ඉස්සෙල්ලා ඒක කියන්න" යැයි පැවැසුවේ මහ සද්දෙනි.මේ අවස්ථාවේ දී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සජිත් ප්‍රේමදාසට විවිධ දේ කියමින් කෑකෝ ගැසීම නිසා සභාවේ උණුසුම් තත්වයක් ඇතිවිය.'අපි ජාත්‍යන්තරයට ක්ලම් කියලා ආණ්ඩුව වට්ටවන්න කටයුතු කරන්නේ නැහැ.'ප්‍රේමදාස කීවේය.

සජිත් ප්‍රේමදාසගෙන් පසුව විවාදයට එක්වූ වාසුදේව නානායක්කාර ප්‍රේමදාසට එරෙහිව දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කළේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ බාධා කිරීම් මධ්‍යයේය.'මහජන ඡන්දයේ ඡන්දය එකතුවටත් ජිනීවා ඡන්දයත් එක සමාන ද? මධ්‍යස්ථව හිටපු අයගේ චේතනාවත් බලන්න ඕන. අපේ විපක්ෂ නායකතුමා ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ හෝඩියේ. තේරුම් ගැනීම පිළිබඳ හෝඩිය පන්තියේ.

'යැයි වාසුදේව පැවැසුවේ සජිත් දෙසට ඇගිල්ලක් ද දිගු කරමිනි.වාසු ඊළඟට හැරුණේ පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන කතා කිරීමටය.'පාස්කු ප්‍රහාරය කළේ කවුද ඒ පිටුපස හිටියේ කවුද කියල පමණක් බලලා වැඩක් නැහැ. ප්‍රහාරය සඳහා බලපාපු දේශපාලන හේතු ද හොයන්න ඕන. සහරාන්ගේ වෑයම වුණේ ශ්‍රී ලංකාව ඉස්ලාම් රාජ්‍යයක් බවට පත් කරන්නයි. ඒක දිග වැඩක්. ඒ වැඩේ අතහැරලා එයා පුපුරුවාගෙන මියගියේ මොකටද? ඒ ගැන සොයන්න ඕන. එදා පොලිසිය බාරව හිටපු රනිල් වික්‍රමසිංහට කොමිෂන් වාර්තාවෙන් නිර්දේශයක් නැතිවීම ගැන මට කේන්තියක් තියෙනවා' යැයි වාසු කියාගෙන කියාගෙන ගියේ එක හුස්මටය.විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන ජිනීවා යෝජනාව ගැන මැතිසබයේ දී ඊයේ විශේෂ ප්‍රකාශයක් කළේය. මානව හිමිකම් කමිටුව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරයට පදනම් විරහිතව ඇඟිලි ගැසීම ප්‍රතිෂ්ප කරන බව ඔහු එහිදී පැවැසීය. දිනේෂ්ගෙන් පසුව කතා කිරීමට නැගී සිටි ලක්ෂ්මන් කිරිඇල්ල විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මානව කොමිසමේ වාර්තාවේ වැඩි පිටු ගණනක් තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ දී රටේ සිදුවූ මානව හිමිකම් කඩවීම් ගැන යැයි පැවැසුවේය.කිරිඇල්ලගේ මේ ප්‍රකාශයෙන් කඩි ගුලක් මෙන් ඇවිස්සුණු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් එක දිගට කෑකෝ ගසමින් කිරිඇල්ලට බැන වදිනු දක්නට ලැබිණ.මේ අවස්ථාවේ දී කිරිඇල්ල දෙසට හැරුණු කතානායක 'ඒක ඇමැතිගේ ප්‍රකාශයක්. ඒ ගැන දැන් මෙතැන විවාද කරන්න බැහැ. ඒකට වෙන දවසක් දාගන්න.'යැයි පැවැසුවේය. මේ අවස්ථාවේ දී විපක්ෂයේ මන්ත්‍රීවරු විවිධ දේ කියමින් කතානායකවරයාට චෝදනා කළහ.
 (සුජිත්හේවා ජුලිගේ )