dulas-speaks

ශ්‍රී ලංකාවේ වෙසෙන ලක්ෂ 10ක් පමණ වන ජනතාවකට උප්පැන්න සහතික නැතැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසිය.  ශ්‍රී ලංකාවේ දෙකෝටි විසිලක්ෂයක් පමණ වන පුද්ගලයාගෙන් ලක්ෂ 10කට උප්පැන්නයක්වත්  නොතිබීම බරපතළ ගැටලුවකැයි ද ඩලස් අලහප්පෙරුම මහතා කඹුරුපිටියේ දී ඉකුත්දා කීවේය.  කඹුරුපිටිය මැතිවරණ කොට්ඨාසයේ උප්පැන්න  නොමැති සියලු දෙනාටම මේ වසරේ දෙසැම්බර් මස 31 වැනි දින මධ්‍යම රාත්‍රියට පෙර උප්පැන්න ලබාදීමට පියවර ගන්නා බව ද එහිදී ඩලස් අලහප්පෙරුම මහතා කීය.




එළඹෙන සිංහල අවුරුද්දට පෙර විදුලිය නොමැති සෑම සමෘද්ධිලාභී පවුලකටම සහ පොරොත්තු ලේඛනවල සිටින පවුල්වලට විදුලි සබඳතා ලබාදෙන  බව ද ඔහු පැවසීය. කඹුරුපිටිය ප්‍රාදේශීය සභාව මගින් ආරම්භ කිරීමට යෝජිත දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ වැඩ ආරම්භ කිරීම, නව කියවීම් ශාලාව විවෘත කිරීම, කද්දුව මහජන පුස්තකාලය ප්‍රතිසංස්කරණය කර නැවත විවෘත කිරීම සහ කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ සේවක සේවිකාවන්ට ප්‍රශංසා සහතික පිරිනැමීම විදුලිබල ඇමැතිවරයා අතින් සිදු කෙරිණි.  එහිදී ඇමතිවරයා මෙසේද කීය.  


මිනිසා මානවයකු වශයෙන් පිළිගැනෙන ජාතික හැඳුනුම්පතක් වත් නැති බොහෝ දෙනෙක් ලංකාවේ ඉත්නවා.

ඔවුන්ට හැඳුනුම්පත් හදන්න අපට මතක් වෙන්නේ ඡන්දෙ කාලෙට විතරයි. ඡන්දයක් ළං  වෙනකොට ග්‍රාමනිලධාරියා ළඟට ගොස් තාවකාලික හැඳුනුම්පතක් හදනවා. ඡන්දෙන් පස්සේ අමතක කර දමනවා. කඹුරුපිටිය මැතිවරණ කොට්ඨාසයේ ජනතාව යුක්ති සහගත පුරවැසියන් කරන දසමහ යෝධ අභිලාෂයන් මේ වසර තුළ ක්‍රියාත්මක කරනවා. කොට්ඨාසයේ උප්පැන්න සහතික නැති සියලු දෙනාට උප්පැන්න  සහතිකයක් ලබාදීමට කටයුතු කරනවා.   එළැඹෙන සිංහල අවුරුද්දට කලින් විදුලිය බලය නැති හැම සමෘද්ධිලාභී පවුලකටම සහ පොරොත්තු  ලේඛනයේ සිටින පවුලකටම විදුලිබලය ලබාදීමට කටයුතු කරනවා යැයි ද ඔහු කීවේය.


 -ප්‍රීති ජයවර්ධන-