embilipitiya-opd-death

ඇඹිලිපිටිය දිසා රෝහලට ඇතුළත් කළ තරුණ හෘද රෝගියෙකු බාහිර රෝගීන්ගේ අංශයේ රෝහල් කාර්යමණ්ඩලයේ සහ වාට්ටු අංක එකේ වෛද්‍යවරියකගේ නොසැලකිලිමත්කම නිසා අසාධ්‍ය වීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව ආයතනික මට්ටමින් පරීක්‍ණයක් පවත්වන බව ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සමන්තා රාමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.  ඇඹිලිපිටිය, කොතලාවල හන්දියේ අංක 262 ලිපිනයේ පදිංචිව සිටි එස්.ඒ. රසික චතුරංග (අවු.29) නමැති තරුණයා පසුගිය පෙබරවාරි 23 වැනිදා හෘද රෝගී තත්වයක් නිසා ඇඹිලිපිටිය දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දින කිහිපයකට පසු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 03දා ජීවිතයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.ඔහුගේ අවසන් අවසන් කටයුතු පසුගිය 05දා පැවැත්වුණු අතර, ආගමික වතාවත්වලින් පසු සිරුර මහමග තබා මහජන උද්ඝෝෂණයකද නිරත විය. රෝහලේ වෛද්‍යවරුන්, සහ කාර්ය මණ්ඩලය විවේචනයට ලක් කෙරුණු අතර, මෙම මරණය වළක්වා ගත හැකි එකක්ව තිබූ බවත් නොසැලකිල්ල නිසා මූලික ප්‍රතිකාර නොලද හේතුවෙන් රසික චතුරංග මියගිය බවටත් විරෝධතාකරුවෝ චෝදනා කළහ.



පොලීසියේ මැදිහත්වීමෙන් පසුව උඝෝණය නවතා දමනු ලැබීය. උඝෝෂකයන්ගේ චෝදනා සම්බන්ධයෙන් විමසු අවස්ථාවේ රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය සමන්තා රාමචන්ද්‍ර මහත්මිය පැවසුවේ, මියගිය රසික චතුරංග රෝහල්ගතව සිටියදී ඔහුගේ සොහොයුරෙකු වූ එස්.ඒ. සුධීර සංජය මහතා විසින් තමන්ට කළ ලිඛිත පැමිණිල්ල අනුව ආයතනයෙන් යම් අඩුපාඩුවක් වූවාද යන්න සොයා බැලීමට ආයතන මට්ටමින් මේ සතියේ සිකුරාදා එම පරීක්‍ෂණය පවත්වන බවද රෝහල් අධ්‍යක්‍ෂවරිය පැවසුවාය.

ජනාධිපති ලේකම්, අගමැති ලේකම්, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්, සබරගමු පළාත් ආණ්ඩුකාර, සබරගමු පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂ, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෙතද පිටපත් යොමු කරමින් ඇඹිලිපිටිය රෝහල් අධ්‍යක්‍ෂවරිය වෙත එම ලිපිය යොමුකර තිබුණි.මේ පැමිණිල්ල සම්බන්ධයෙන් තමන් ආයතනික මට්ටමින් පරීක්‍ෂණයක් කරන බව පැමිණිලිකාර සුධීර සංජය මහතාට ලියාපදිංචි තැපෑලෙන් දැනුම්දුන් බවද රෝහල් අධ්‍යක්‍ෂවරිය පැවසුවාය. ඊට අමතරව තමන් ඉහළ නිලධාරීන්ට ද මේ පැමිණිල්ල සම්බන්ධයෙන් දැනුම්දුන් බවත්, යම් නිලධාරියෙක් වරදක් කර ඇත්නම් ඔවුන්ට දඬුවම්දීමට තමන්ට බලයක් නොමැති බවද රෝහල් අධ්‍යක්‍ෂවරිය පැහැදිලි කළාය.ආයතනික පරීක්‍ෂණයේ සියලු තොරතුරු ඉහළ නිලධාරින්ට දැනුම් දෙන බවද ඇය අවධාරණය කළාය.

මියගිය තරුණයා වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් බවත් ඔහු කොණ්ඩය වවා, ඩයිකර, කණටද කරාබු දමා සිටීම නිසා කුඩු හෝ අයිස් මන්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙක් යැයි නිගමනය කර ඒවා නොමැතිකමින් සික් එක යැයි කියා වාට්ටු අංක එකේ වෛද්‍යවරිය මූලික නිගමනයකට පැමිණ ප්‍රතිකාර කිරීම පැය 1 1/2කට වැඩි කාලයක් අතහැර දමා තිබූ බවද ඔහුගේ සොහොයුරා වූ සුධීර සංජය සිය පැමිණිල්ලෙන් දක්වා ඇත. තම සහෝදරයා ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයාගෙන් හෘද රෝගී තත්වයට ප්‍රතිකාර ගත් බවද ඔහු කීවේය. මියගිය සහෝදරයා රෝහල්ගත කළ අවස්ථාවේ එදින උදේ ලබාගත් ඊ.සී.ජී පරීක්‍ෂණ වාර්තාව පෙන්නුවද වාට්ටුවේ වෛද්‍යවරිය එය සැලකිල්ලට නොගත් බවද එකී පැමිණිල්ලෙන් කියා ඇත.මෙම පැමිණිල්ල ලැබී දින දෙකකට පසු ඇඹිලිපිටිය දිසා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රසික චතුරංග මියගොස් තිබුණි.
(අජිත්ලාල් ශාන්තඋදය)