engineer-story

ඕනෑම කෙනකු වඩාත්ම ආදරය කරන්නේ තමන්ගේ ජීවිතයටයි. එය සරල සාමාන්‍ය සිද්ධියකි එහෙත් අනෙකකුගේ ජීවිතය වෙනුවෙන් තම ජීවිතය  දෙවැනි කොට කැප කිරීම් කරන පුද්ගලයන් අප සමාජයේ විරලව හෝ දැකිය හැකි අතර ඔවුන් විරුවන් ලෙස හැඳින්වීම කිසි විටෙකත් වරදක් නොවේ.   මහ කලුපහන පාසල අසල පදිංචි දිමිනිගේ දිනුක ශ්‍රීමාල් උදය කුමාර නම් 31 හැවිරිදි තරුණයා ද එවන් විරුවෙකි. කළුතර උතුර කැලිඩෝ වෙරළ තීරයේ දී මුහුදේ ගසා  ගෙන ගිය කුඩා දරුවන් දෙදෙනකු බේරා ගැනීම සඳහා තම දිවි පරදුවට තබා මුහුදට පැත්න මෙම තරුණයා තම උපන් ගමම හඬවා අවසන් ගමන් ගියේ මුළු මහත් රටේම මිනිසුන්ගේ සිත් සතන් තුළ විරුවකුගේ මතක සටහන් තබමිනි.



මුහුදේ ගසා ගෙන ගිය දරුවන් දෙදෙනා ගේ ජීවිත රැකෙද්දී, ඔවුන් බේරා ගැනීමට දිවිහිමියෙන් ඉදිරිපත් වූ මෙම  වීරෝදාර තරුණයාගේ ජීවිතය  දිය රකුසා විසින් අනපේක්ෂිත අයුරින් ගිලගත් එම අනුවේදනීය කතා පුවත දැන ගැනීම සඳහා   ඔහුගේ නිවස වෙත ඊයේ (14) උදේ ගියෙමු. මීගහතැන්න - හොරවල මාර්ගයේ පේරගස්හන්දිය අසලින් හැරි මහකළුපහන පාසල අසල පිහිටි ඔහුගේ නිවසට අප යන විට මියගිය දිනුක ශ්‍රීමාල් තරුණයාගේ පියා වන දිමිනිගේ නවරත්න මහතා, මව වන දිමිනිගේ දයාවතී මහත්මිය තම පුතුගේ නිසල දේහය අසල කඳුළු සලමින් හඩා වැළපුණු අවස්ථාව ඉතා සංවේදී ජනක දසුනක් විය. තම පුතුගේ වියෝව  ආයාසයෙන් දරාගෙන අප හා  අදහස් දැක් වූ නවරත්න මහතා මෙසේ පැවසීය.

මියගියේ මගේ බාල පුතා, මට දරුවන් තුන් දෙනයි, තුන් දෙනාම පුතාලා, ලොකු පුතා පුංචි ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා, දෙවැනි පුතා ගුවන් හමුදාවේ. අපි හැමෝම දාලා ගිය පොඩි පුතා මියගිය දිනු සිවිල්  ඉංජිනේරුවෙක්. ජාඇල ප්‍රදේශයේ රස්සාව කළේ. දරුවන් තුන් දෙනාටම අපි පුළුවන් විදියට  ඉගැන්නුවා. පොඩි පුතා මතුගම  සී.ඩබලිව්.ඩබලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබුවේ. මුළු ගමේම අය ඔහුට ආදරෙයි. ගමේ හැමෝටම ඔහු උපකාර කරනවා. ගමේ පොදු වැඩවලට මුලින්ම ඉදිරිපත් වෙන කෙනෙක් තමයි මගෙ පොඩි පුතා. එයා අපිට බොහොම කීකරුව හැදුණේ. එයා නැති වුණ වියෝව දරාගන්න බෑ. ඒත් තවත් ජීවිත දෙකක්  බේරගන්න කළ කැපවීම තාත්තා කෙනෙක් විදිහට මට  ආඩම්බරයක්. එයා ගෙනාපු ආයුෂ එපමණයි කියන එක සිතා අපි ඉවසා දරා ගන්නවා".

මව වන දිමින්ගේ දයාවතී මහත්මිය මෙසේ පැවසුවාය.

“ගොඩක් බලාපොරොත්තු තියාගෙන මම හිටියේ පොඩි පුතා විවාහ වෙලා හොඳ ජීවිතයක් ගත කරන හැටි බලන්නයි, ඒවා ඔක්කොම අද  සුනුවිසුනු වුණා. මම කොහොම ඉවසන්නද , පොඩි පුතාට මේ ගමේ ආදරය නොකරන කෙනෙක් නෑ. හැමෝම ලෙන්ගතුයි. නිවාඩුවකට ගෙදර ආපු ගමන් යන්නේ පොදු වැඩවලට කාට හරි උදව් කරන්න. එයා ගෙනාපු ආයුෂ ඉවරයි. එයා අපිව දාලා ගියා. ඒත් සමාජයට විශාල සේවයක් කරලා ගියේ. ඒ වගේ දරුවෙක් ලබන්න මම පින් කරන්න ඕන. මතු ආත්මයකත් මගේ පුතාම වෙලා ඉපදෙන්න කියා මම ප්‍රාර්ථනා කරනවා".  කළුතර උතුර කැලිඩෝ වෙරළ තීරයේ සිදු වූ මෙම සිද්ධිය වන අවස්ථාවේ මියගිය දිනුක ශ්‍රීමාල් සමග සිටි ඔහු ගේ  හොදම මිතුරෙකු වූ හංසක පියුමාල් තරුණයා මෙසේ පැවසීය.




“මමයි දිනුක අයියායි තවත් යාළුවෝ කීප දෙනෙකුයි, පානදුරේ නෑ ගෙදරක ගිහින් එන ගමන් කැලිඩෝ බීච් එකට ගියා, ඒ වෙලාවේ හවස් වෙලා තිබුණ නිසා බීච් යනැතුව ගෙදර යමු කියලත් අපි කීප දෙනක් කතා කරා. ඒත් දිනුක  අයියා කිව්වා පොටෝ ටිකක් අරගෙන යමු කියලා.  ඒ නිසා අපි ගිහින් එතන  පොටෝ ගන්න අවස්ථාවේ  බේර ගන්න බේරගන්න කියලා කියනවා අපට ඇසුණා. පොඩි ළමයි දෙනෙක් මුහුදේ ගහගෙන යනවා දිනුක අයියා තමයි ඉස්සෙල්ලම මුහුදට පැනලා තියෙන්නේ. මමත්  එතනට දුවගෙන යනකොට පොඩි ළමයෙක් වතුරේ පා වෙනවා දැක්කා. එයාව ගන්න තව එක්කෙනෙක් පැන්නා. ඒ පැනපු කෙනා දරුවත් ගොඩට ගන්න උත්සාහ කරන අවස්ථාවේ රළ පහරට හසුව නැවත ගිලුණා. එවිට මම ඒ  දරුවා බේරාගෙන ගොඩ අරගෙන ආවා. දරුවාට පෙවුන වතුර පිටට ගන්න මම කටයුතු කරලා සොයා බලද්දී දිනුක අයිය නෑ. ඒ වගේ කෙනෙක් කෑගහනවා ඇහුණා. තව එකෙනෙක් රැල්ලට අසුවෙලා යනවා කියලා.  ඒ සමගම එතැන හිටිය දෙන්නෙක් පැනලා දිනුක අයිය ගොඩට අරගෙන ආවා.


මුහුදේ ගසාගෙන ගිය අනිත් දරුවා කිව්වා එයාව බේරගන්න ඉස්සෙල්ලාම පැනනේ  දිනුක අයියා කියලා. අපි 1990 ගිලන් රථය ගෙන්න ගන්න උත්සාහ කරත් බැරි වුණා. පස්සේ අපි ගිය වෑන් එකෙන්ම දිනුක   අයියා සහ මුහුදේ ගිලුණ අනිත් අයව දාගෙන නාගොඩ ඉස්පිරිතාලෙට ගියා. එතනදි සුළු වෙලාවකින් දිනුක අයියා මියගිය බව දැනගන්න ලැබුණා. අපේ ගමට හිටිය සම්පතක් අපිට නැති වුණා.  මියගිය දිනුක ශ්‍රීමාල් තරුණයාට අවසන් ගෞරව දැක්වීම සඳහා ප්‍රදේශවාසීහු විශාල පිරිසක් පැමිණෙමින් සිටියහ.මහ කලුපහන ප්‍රදේශයට හිස්තැනක් එකතු කරමින් ඊයේ (15) සවස මෙම වීරෝදාර තරුණයා කලුපහන පොදු සුසාන භූමියේ දී අවසන් ගමන්  ගියේ කාගෙත් නෙතට කඳුලක් මුසු කරමිනි.

 -ප්‍රේමතිලක පෙරමුණ-