eravur-incident

තම බිරිඳ, දියණියන් දෙදෙනා සහ පුතාගේ පහර කෑමට ලක්වීමෙන් බරපතළ තුවාල ලැබූ නිසා මඩකළපුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (10) රාත්‍රියේ පුද්ගලයකු මියගිය බව එරාවුර් පොලිසිය කියයි.  මෙසේ පහරදී ඝාතනය කර ඇත්තේ එරාවුර් පොලිස් වසමට අයත් ආරුමුට්ටතුරෙයි භාරතී පාරේ පදිංචිව සිටි ගල් ගුණරාජා (38) නමැති තිදරු පියෙකි.   මෙම ඝාතනය සම්බන්ධයෙන් එම පුද්ගලයාගේ 40 හැවිරිදි බිරිඳ අවුරුදු 24 ක් වයසැති පුතා අවුරුදු 18 ක් වයසැති දියණිය සහ අවුරුදු 15 ක

වයසැති දියණිය ද සැකපිට අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්  පැවැසීය. 


අත්අඩංගුවට ගත් 15 හැවිරිදි දියණිය පාසල් සිසුවියක වන අතර 18 හැවිරිදි දියණිය පෙරේදා  අවසන් වූ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෞද්ගලික අයදුම්කරුවකු ලෙස පෙනී සිට ඇති  බවද පොලිසිය කියයි. මෙම ඝාතනයට ලක්වූ පුද්ගලයා බීමතින් පැමිණ දරුවන්ට හා බිරිඳට පහරදිම් සිද්ධීන් දෙකක්  සම්බන්ධයෙන් මීට පෙර ඔහුට එරෙහිව පොලිසියට  පැමිණිලි ලැබී තිබිණැයි යැයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය. එම පැමිණිලි විභාග කර සමථයට පත්කළ බව පොලිසිය කියයි.


මොහු තම බිරිඳ සමග කාලයක් තිස්සේ ඉඩමක් සම්බන්ධයෙන් ද ආරවුලක පැටලී සිට ඇති බවත් ආරවුල් පවතින ඉඩමේ සිටියදී ඉකුත් 9 වැනිදා  ගුණරත්න නමැත්තාට බිරිඳ ඇතුළු දූ දරුවන් අලවංගුවකින් හා පොලුවලින් පහරදී ඇති බවටත්  තොරතුරු අනාවරණය විණි යැයිද පොලිස් ආරංචි මාර්ග පවසයි.  බිරිඳ හා දරුවන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ අනුව බවද පොලිසිය කියයි.