රෝහල්වල පවතින වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් රෝහල් පවත්වාගෙන යාමේදී විශාල ගැටලු ප්‍රමාණයක් ඇති වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි. වෛද්‍ය හිඟය කඩිනමින් විසඳා ගැනීම සඳහා මූලික පියවරක් ලෙස වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 සිට 63 දක්වා ඉහළ දමන ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.  අදාළ යෝජනාව ක්‍රියාත්මක කර ගැනීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබිය යුතු බවත්, මේ නිසා වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 සිට 63 දක්වා ඉහළ දමා ගැනීමේ යෝජනාවට කඩිනමින් අනුමැතිය ලබාදෙන ලෙසට කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා පවසා සිටියේය.



 විශ්‍රාම යන වයස අවුරුදු 63 දක්වා ඉහළ දමා ගැනීමට කටයුතු කළහොත් දැනට රට තුළ සිටින වෛද්‍යවරුන් දාහත්දහසකට (17,000) අධික ප්‍රමාණය කෙටි කාලයක් තුළ විසිදහසක් (20,000) දක්වා ඉහළ දමා ගැනීමට හැකිවන බවද ඒ මහතා සඳහන් කළේය. වෛද්‍ය හිගය නිසා දුෂ්කර ප්‍රදේශවල පිහිටි රෝහල් පවත්වාගෙන යාමේදී දැඩි ලෙස ගැටලු ඇති වී තිබෙන බවත්, පළාත් රෝහසැලකීමේදී වෛද්‍ය පුරප්පාඩු පිළිබඳව සොයා බලා තිබෙණුයේ 2012 වසරේදී වන අතර, මධ්‍යම රජයේ රෝහල්වල අදාළ සොයා බැලීම සිදුකර තිබෙන්නේ 2018 වසරේදී බවද ඒ මහතා සඳහන් කළේය.වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ කාලය දීර්ඝ කිරීමට අමතරව විදේශ රටවල සිට වෛද්‍ය උපාධිය සම්පුර්ණ කර පැමිණෙන පිරිස් වෛද්‍ය සේවයට බඳවා ගැනීමට අදාළ වැඩකටයුතු නිසි ලෙස සිදුවිය යුතු බවත්, මීට අමතරව වෛද්‍යවරුන් රට හැර යාම නවතා ගැනීමටද වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.සීමා වාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් නවසීයක් මේ වසර තුළදී රාජ්‍ය සේවයට එක්වීමට නියමිතව තිබුණද, රාජ්‍ය සේවයට එක්ව සිටිනුයේ හත්සිය විස්සක ප්‍රමාණයක් බවද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසා සිටියේය.

(ඉන්දික හේවාවිතාරණ)