grand-mother-story

තවමත් පොත්පත් කියවන එකසිය එක්වැනි වියෙහි පසුවන මාතාවක් අත්තනගල්ල ඌරාපොල බෝපැත්ත ග්‍රාමයේදී හමුවිය. ඇය බෝපැත්ත ප්‍රගතිමාවත, අංක 272/සී දරන පිටියේ පදිංචි ලොකු අතුරුගිරීආච්චිලාගේ ලීලාවතී මහත්මියයි.  රඳාවාන බලවිල ග්‍රාමයේ දී 1920 වසරේ සැප්තැම්බර් මස 15 වැනි දින සහෝදර සහෝදරියන් හත් දෙනකුගෙන් යුත් පවුලක  තුන්වැනියා ලෙස මෙම මාතාව උපත ලබා ඇත.  නෙල්ලිගහමුල අඹගස්පිටිය මහා විද්‍යාලයෙන් ඇය අධ්‍යාපනය ලබා තිබේ. ඌරාපොල බෝපැත්ත ග්‍රාමයේ පදිංචි කේ.කේ. වේලිස් අප්පුහාමි මහතා සමග 1940 වසරේ යුග දිවියට පිවිස ඇති ඇය එතැන් සිට ඌරාපොල බොපැත්ත ග්‍රාමයේ මේ දක්වා දිවි  ගෙවමින් පසුවෙයි.


ලීලාවතී මැණියගේ සැමියා වන වේලිස් අප්පුහාමි මහතා මෙයට වසර 27කට පෙර එනම් 1994-01-30 වැනි දින මියගොස් ඇත.  ලීලාවතී මාතාවට දූ දරුවන් සිවු දෙනෙකි. දැනට අසූ එක්වෙනි වියෙහි පසුවන  කේ.කේ. සපින් සිංඤෝ මහතා ඇයගේ වැඩිමහල්  දරුවා වේ.

කේ.කේ. ජයසේන  (79) කේ.කේ ශ්‍රීමනී (73) සහ කේ.කේ. රූපසිංහ (67) මෙම මාතාවගේ සෙසු දරු තිදෙනාවේ. ග්‍රාම  නිලධාරිවරයකු ලෙස සේවය කර ඇති කේ.කේ රූපසිංහ මහතා මේ වනවිට සේවයෙන් විශ්‍රාම ලබා ඇත. ලීලාවතී මාතාවට මුණුපුරු මිනිපිරියන්  දොළොස්  දෙනෙකු ද සිටිති.


ලීලාවතී මෑණියන් පිළිබඳව අදහස් දැක්වූ ඇයගේ බාල දරුවා වන විශ්‍රාමලත් ග්‍රාම නිලධාරි කේ.කේ. රූපසිංහ මහතා මෙසේ පැවැසීය.  අම්මගේ ඇස් පෙනීම තවමත් හොඳයි. ඇස් කන්නාඩියක් පාවිච්චි කරලම නැහැ. බණපොත් පුවත්පත් යනාදිය තවමත් කියවනවා. රාත්‍රී නින්දට යාමට පෙර සැම දිනකම පන්සිල් ගන්නවා. අපේ තාත්තා ගොවියෙක්.  තාත්තාගේ කුඹුරු වැඩවල අම්මා වෙහෙස මහන්සිවී උදව් උපකාර කළා. තාත්තාගේ බුලත් කොටුවලට වතුර දැමිම කළා. අම්මා ගෙදර වංගෙඩියෙන් වී කොටලා තමයි සහල් ලබා ගත්තේ. වී කොටන වී  මෝල්වලට අම්මා කිසිදිනක වී අරගෙන ගියේ නැහැ.




මේ වනවිට අම්මට කියන්න තරම් අසනීපයක් ද නැහැ. කන් ඇසිමේ සුළු අඩුවක් සිදුවී තිබෙනවා. අපි සියලු දෙනාම එකතු වී අම්මා රැක බලා ගැනීම සිදු කරනවා. දූ දරුවන් සිවුදෙනා සහ මුණුපුරු මිණිපිරියන් විසින් මෙම මාතාවගේ සියවැනි ජන්ම දිනයේ දී 2020-09-15 දින මහා සංඝරත්නය නිවෙසට වඩම්මවා ඇයට දිගාසිරි ප්‍රාර්ථනා කිරිමේ පුණ්‍ය කර්මයක් ද සිදුකර තිබේ.


  -එස්. යු.ඩබිලිව්.කේ. ජයවර්ධන-