බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයෙකු වන හැරී කුමරුන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රියාත්මක BetterUP නම් අලුතින් ඇරඹුණු තාක්ෂණික සමාගමක සේවය සඳහා සම්බන්ධ වී ඇතැයි වාරිතා වෙයි. 

ඒ අනුව එම සමාගමේ ප්‍රධාන බලපෑම් නිලධාරි ධුරයට ඔහු පත් කෙරී තිබේ. පුහුණුකිරීම්, සේවක සංවර්ධන සහ මානසික සෞඛ්‍ය පිළිබඳව උපදෙස් ලබාදෙන සහ නිෂ්පාදන සිදුකරන සමාගමක් ලෙස මෙම BetterUP සමාගම සැලකෙයි. අද වනවිට මෙම සමාගමේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 1.73ක් පමණ වන අතර, මෑතකදී සමාගම ඩොලර් මිලියන 125ක අරමුදල් රැස්කර ගැනීමකට සමත් විය.හැරී කුමරුන් සිය සමාගම හා සම්බන්ධවීම පිළිබඳව නිවේදනයක් නිකුත් කර ඇති BetterUp හි ප්‍රධාන විධායක නිලධාරියා, "BetterUP සමාගමේ විධායක කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස හැරී කුමරුන්, පසුගිය වසර කිහිපයේදී සිදුකළ දේ තවදුරටත් පුළුල් කිරීමේ අවස්ථාව හිමිවෙනවා." යනුවෙන් පවසා ඇත.

හැරී කුමරුන් සිය බිලොග් පිටුවෙහි. "මම ඇයි BetterUP සමග සම්බන්ධ වුණේ” යනුවෙන් සටහනක් තබා ඇත. "BetterUP" හි ප්‍රධාන බලපෑම් නිලධාරියා ලෙස මගේ පළමු වැනි ඉලක්කය වන්නේ මානසික සෞඛ්‍ය සහයෝගීතාව ගොඩනැගීම සහ සානුකම්පිත ජනසමාජයක් බිහිකිරීම සඳහා දායක වීමයි. මගේ බලාපොරොත්තුව වන්නේ ජනතාවගේ අභ්‍යන්තර ශක්තිමත් බව, ප්‍රත්‍යාස්ථතාව සහ විශ්වාසවන්ත බව සංවර්ධනය සඳහා උදව් ලබාදිමයි යනුවෙන් පවසා තිබේ.