heshani-liyadipita

රංගනයට පිවිස ඉතාම කෙටි කාලයකින් ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොබදව දිනාගන් රංගන ශිල්පිනියක ලෙස හේෂානී ලියදිපිට හදින්විය හැකිය.දෙරණ නාළිකාවේ විකාශය වන 'ධරණී' ටෙලි නාට්‍ය ඔස්සේ රසික ආදරය දිනාගත් ඇය තම පළමු ටෙලි නාට්‍යය තුළින් අද (26) පැවැත්වෙන සුමති සම්මාන උළෙලේ ජනප්‍රියතම නිළිය සඳහාද නිර්දේශ වී තිබේ. මේ ඒ පිළිබදව සහ ඇයගේ කලා ජීවිතය පිළිබදව සිදුකළ කතා බහකි.

*'ධරණි' චරිතය ඔබට ලැබුණේ කොහොමද?

ඇත්තටම මම මේක හිතපු අවස්ථාවක් නෙමෙයි. මට මේක අහම්බෙන් ලැබුණු දෙයක්. මොකද අවුරුදු කුමාරියක් වුණ පලියටමම පළවැනියා වුණා කියලා දැනගෙන දුන්නෙ නැහැ. අපි දොළොස් දෙනාම ඔඩිෂන් කරලා තෝරලා බලලා තමයි අවස්ථාව ලැබුණේ.

මොකද මේක තනි චරිතයක් නෙ. චරිතයට සුදුසුම කෙනා බලලා තමයි තේරුවේ. මම හිතනවා ඒ වෙනුවෙන් වෙන්න පුළුවන් උපරිම සාධාරණය ඉෂ්ඨ කරනවා කියලා. ඉතිං ඒ ගැන ලොකු සතුටක් තියෙනවා. මොකද මම කවදාවත් රගපාපු කෙනෙක් නෙමෙයි.ඉතිං එහෙම නොකරපු කෙනෙකුට ලොකු විශ්වාසයක් තියලා දුන්න එක ලොකු අභියෝගයක්. ඒ ගෙන ලොකු සතුටක් තියෙනවා. ඒ නිසා ඒකට වරදක් කරන්න හිතන්නේ නැහැ. මේක මගේ පළමුවැනි ටෙලි නාට්‍ය අත්දැකීම. මීට කලින් වෛළඳ දැන්වීම්වලට තමයි දායක වුණේ.

*ඔබ සුමති සම්මාන උළෙලේ ජනප්‍රිය නිළියට නිරිදේශ වෙලා තියනවා ?

හිතා ගන්න බැරි දෙයක්. අද වෙද්දී ජනප්‍රිය 05 දෙනා අතරට ඇවිත් තියෙනවා. මට තියෙන සතුට මේකෙන් ලබන ජයග්‍රහණය නෙමෙයි. මම මේ වෙනකොට ජයග්‍රහණය ලබලා කියලා හැගීමක් තියෙනවා. ඒක ආඩම්බරයක්. ලොකුකමක් නෙමෙයි. මාස 05ක් වගේ කාලයක් තුළදී සුමති සම්මාන උළලක් වගේ දැවැන්ත සම්මාන උළෙලකටම මාව යෝජනා වීම ලොකු සතුටක්.මට ඒ සතුට තියෙනවා. ප්‍රවීණයන් ගණනාවක් එක්ක මගේ පින්තූර දකින්න ලැබෙන එක සතුටක්. හේෂානි ලියදිපිට කියන නම එතන තියෙන එක ලොකු සතුටක්. මගේ චරිතය වෙනුවෙන් මම සාධාරණයක් ඉෂ්ඨ කරා වෙන්න ඇති, ප්‍රේක්ෂකයන් මාව විශ්වාස කරා වෙන්න ඇති. ඒ නිසා මට මේක ලැබුණා කියලා මම හිතනවා. මොකද මම තනියම ඉස්සුණා නෙමෙයි. මාව උස්සන් ඉන්න අත් ගොඩක් තියෙනවා.

*ටෙලි නාට්‍යය නිසා ලැබුණු දේවල් තියෙනවාද?

ඔව්. ඒනිසා මගේ ජීවිතයට ලැබුණු ප්‍රධානම දේ  තමයි මම ඉවසන්න පුරුදු වුණු එක. මොකද මම සෑහෙන්න කේක්ති යන කෙනෙක්. ප්‍රශ්නවලදී මම මාවම ව්‍යාකූල කර ගත්ත කෙනෙක්. හැබැයි මම හිතන්නේ අද වෙන කොට චරිතය මගේ ජීවිතය තුළට අරගෙන තියෙනවා.

මම චරිතයත් එක්කම ජීවත් වෙලා තියෙනවා. මට මගේ දෙබසක්වත් නිකන් අත අරින්න බැහැ. ඒ තුළින් ම පිවිතයට බලපෑමක් කරගෙන. තියෙනවා. ඒක තමයි මට ලැබුණු ලොකුම දේ.ඊට අමතරව ලැබුණු දේ ජනප්‍රියත්වය. ප්‍රසිද්ධිය නෙමෙයි. ඒ ජනප්‍රියත්වය මට තියෙනවා. මේ චරිතයට වැඩිපුරම ආදරය කරන්නේ පොඩි දරුවෝ. ඒ අයගේ ආදරය මට වැඩි වශයෙන් ලැබිලා තියෙනවා. ඒ තුළින් මට මානසික සතුටක් ලැබිලා තියෙනවා.

*චරිතය අභියෝගක් වුණාද?

ගැහැනු ළමයෙක් අලුතින් ටෙලි නාට්‍යයකට එන කොට ඒ ගෑනු ළමයා පෙම්වතියක් කියන චරිතයට කොටු වෙනවා. නැත්නම්, මවක් කියන තැනට වැටෙනවා. නමුත් මම "ධරණි" චරිතය හරහා දුවක්, පෙම්වතියක්, බිරිදක්, අම්මා කෙනෙක්. දරුවෝ දෙන්නෙක් ලැබෙනවා. සැමියා නැතුව දරුවෝ දෙන්නා හදා ගන්නවා. මේ කියන චරිතය තුළින් කාන්තාවක් තමන්ගේ ජීවිතේ ගෙවන්න පුළුවන් හොදම අවස්ථාවන් සහ දුක්ඛිතම අවස්ථාවන් මේ හැමදේම පිළිබිඹු වෙනවා. මට මේ චරිතය තුළින් ලැබෙන දේවල් අත්දැකීම් නෙමෙයි. මට ඒ පිළිබදව කිසිම අත්දැකීමක් නැහැ. ඉතිං මා පුළුවන් තරම් දේවල් ඉගෙන ගත්තා. වීඩියෝස් බැලුවා. ඉතිං මේ දේවල්වලට අපේ අධ්‍යක්ෂකතුමාගෙන්, ශ්‍රියන්ත අයියාගෙත්, නිදුක් අයියාගෙන්, ජානක සර්ගෙන් සහයෝගයක් ලැබුණා. මාව නාට්‍යයට දාන කොටම මට දෙරණ ලක්සිරි සර් කිවේ. 'පුතේ මේක මෙහෙම චරිතයක්, ඔයා ගන්න මේ වගේ අභියෝගයක්. මේ දේවල් බලන්න' කියලා වීඩීයෝ පවා කිව්වා. ඒ අයගේ ලොකු සහයෝගයක් ඇතුව තමයි මම මේ දේවල්වලට ඇතුළු වෙන්නේ

*ටෙලි නාටයේ චරිතය සමාජ තුළින් දැකිය හැකි චරිතයක්ද?

ඔව්, මේ චරිතය අනිවාර්යෙන්ම සමාජය තුළ ඉන්නවා. එක්කෙනෙක් නෙමෙයි. අපි නොදන්නවා වුණාට වැඩි පිරිසක් ඉන්නේ එහෙම. මට පෞද්ගලිකව කතා කරලා කියනවා, අක්කේ මගේ ජීවිතයත් මෙහෙමයි, මටත් මේ දේවල් වෙලා තියෙනවා. මගේ නෑනා මේ දේවල් මටත් කරලා තියෙනවා." කියලා. ඉතිං එහෙම අයට වැටෙන්න නැතුව අපිට දෙයක් කර ගන්න පුළුවන් කියන තැනට සංඥාවක් දෙන්න පුළුවන්නම් අපි සාර්ථකයි කියලා මම හිතනවා.

ඩිලාන් ක්‍රිෂාන්ත