hiniduma-incident

හිනිදුම පොලිස් වසමේ ඕපාත හල්ගහවෙල ප්‍රදේශයේදී අධික වේගයෙන් පැදවූ යතුරුපැදියක ගැටී මියගිය 84 හැවිරිදි කාන්තාවකගේ මරණය සම්බන්ධයෙන් හිනිදුම පොලිසිය අත්අඩංගුවට ගෙන පෙරේදා (15 දා) උඩුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු පුද්ගලයකු ලබන 26 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු සංජය ලක්මාල් මෙන්ඩිස් නියෝග කළේය.  මෙසේ බන්ධනාගාර ගතකෙරුණේ ඕපාත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන කේ. ජී. රුවන්ග ලක්මාල් නමැති 26 හැවිරිදි තරුණයෙකි.



පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ කරුණුවලට අනුව මෙම මරණය සිදුවී ඇත්තේ මධුසමය ගතකොට මනාලිය සමග නිවසට එන මිතුරකුට ‘රැග්’ කිරීම සඳහා මිතුරු කණ්ඩායමක් යතුරුපැදිවලින් යමින් සිටි අවස්ථාවකදීය. මිතුරු කණ්ඩායම මග රැක සිටින බව දන්නා මනාලයා වෙනත් මාර්ගයකින් නිවසට පැමිණ තිබේ. මේ බව දැනගත් මිතුරු පිරිස යතුරුපැදිවල නැගී ඔහු එන පෙරමගට වේගයෙන් ගොස් තිබේ. පොල්කටු මාලයක්ද රැගත් එක් අයකු මිතුරකුගේ යතුරුපැදියේ පිටුපසට නැගී ඇති අතර ඔහු මිතුරාට වඩා උස මහත අයෙකි.

මියගිය කාන්තාව මේ අවස්ථාවේ නිවස කිට්ටුව ඇති කුඹුරට ගොස් පටු මාර්ගය අයිනෙන් ආපසු එමින් සිට ඇති අතර උස මහත තැනැත්තා නැග සිටි යතුරුපැදිය පැදවූ තරුණයාට එය පාලනය කරගත නොහැකිව මග අයිනෙන් යමින් සිටි කාන්තාවගේ ඇඟේ හැපී ඇය වැටී ඇත. මේ අවස්ථාවේ ප්‍රදේශයේ සංචාරය කරමින් සිටි පොලිස් සංචාරක යතුරුපැදියට ලැබුණු දුරකථන ඇමතුමකට අනුව සිද්ධිය සිදුවූ ස්ථානයට ගිය සැරයන් දීපාල් වහා ගිලන් රථයක් ගෙන්වා ඇය හිනිදුම රෝහලටත් එතැනින් කරාපිටිය ශික්ෂණ රෝහලටත් යවා ඇතත් කාන්තාව එහිදී මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ වන්නිආරච්චි කංකානම්ගේ ඥානවතී නමැති තිදරු මවකි.

මේ පිළිබඳව හිනිදුම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ආරියසෝම නාගොඩ විතාන - හිනිදුම