හෝමාගම පිටිපන ප්‍රදේශයේ පෞද්ගලික මල් ශාලාවකට අවසන් කටයුතු සිදුකිරීම සදහා බාර දුන් මළසිරුරක පශ්චාත් මරණ පරීක්ෂණය සිදු නොකිරීම හේතුවෙන් මළසිරුර පශ්චාත් මරණ පරීණය සිදු කිරීම සඳහා කළුබෝවිල රෝහලට බාරදෙන ලෙස හෝමාගම රෝහලේ හදිසි මරණ පරීක්ෂක චින්තක උදය කුමාර මහතා නියෝග කළේය.

මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම පිටිපන වැඩිහිටි නිවාසයක නේවාසිකව සිටි වයස අවුරුදු 59 ක පිරිමියෙකි. ඔහු ඉකුත්  (28) හෝමාගම පිටිපන වැඩිහිටි නිවාසයක් තුළදී මියගොස් ඇති අතර වැඩිහිටි නිවාසයේ පාලකවරයා විසින් මළසිරුර අවසන් කටයුතු සිදුකිරීම සදහා එම ප්‍රදේශයේම පෞද්ගලික මල් ශාලාවකට බාර දෙනු ලැබීය. අනතුරුව මියගිය අයගේ මරණ සහතිකය ලබාගැනීමට පැමිණි අවස්ථාවේද එම මළසිරුර සම්බන්ධව පශ්චාත් මරණ පරික්ෂණය සිදුකර නොමැති බවට තොරතුරු අනාවරණය විය. ඒ අනුව එම මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට යොමුකර ඇති අතර මරණ පරික්ෂණ වාර්තාව අනුව ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකරන බව හෝමාගම හදිසි මරණ පරීක්ෂක චින්තක උදය කුමාර මහතා පැවසීය.

 (හෝමාගම ප්‍රියන්ත ජයලත්)