පාසලෙන් ලැබුණු පෙළ පොතක තිබූ අන්සතු මුදලක් අවංක චේතනාවෙන් ආපසු ලබාදුන් ඉබ්බාගමුව ආදර්ශ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන දීප්ති සුභාෂිණි සිසුවියගේ දෑස් නොපෙනී සිටි පියාට පරිත්‍යගශීලි වෛද්‍යවරයකුගේ පිහිටෙන් වසර එකොළහකට පසුව පසුගිය සතියේදී නැවත පෙනුම ලැබී ඇත. ඔහු වසර එකොළහකට පසුව තම ආදරණිය දියණියන් දෙදෙනාගේ සහ ආදරණිය බිරිඳගේ මුහුණු පැහැදිලිවම දැක ගත්තේය. ඉබ්බාගමුව ආදර්ශ මහා විදුහලේ හත්වන වසරේ ඉගෙනුම ලබන දීප්ති සුභාෂිණි දියණිය මුළු රටටම අපූරු පාඩමක් කියා දුන්නාය.
තමන්ට මේ වසර සඳහා පාසලෙන් ලැබුණු පෙළ පොතක පිටු අතරේ තිබී හමුවූ රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු හතරක් නැතිනම් රුපියල් විසිදහසක්වූ විශාල මුදලක් සුභාෂිණි සිසුවිය ඒ මොහොතේම තම පන්ති බාර ගුරුතුමියට නොපැකිල බාර දුන්නේ අවංකත්වය කියාපාමින්ය. හදිසි අනතුරකින් දෙනෙත් අන්දව සිය පවුලම අසරණභාවයට පත්ව එක් වේලකින් බඩගින්න නිවා ගනිමින් කුසගින්නේ අධ්‍යාපනය ලබමින් සිටි මේ දියණිය වටිනා මුදල් නෝට්ටු හමුවේ තම කුසගින්න පාවා නොදීමට තරම් අවංක දැරියක් වුවාය.
මේ දියණියගේ අවංකභාවය පිළිබඳ මේ පුවත දැනගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කටුමැටි ගැසූ කුඩා පැලක ජීවත්වූ සුභාෂිණි දියණියට සහ ඇගේ පවුලේ සාමාජිකයන් හට නිවාස සංවර්ධන අධිකාරිය හරහා නව නිවසක් ඉදිකර දීමට මේ වනවිට පියවර ගෙන ඇත.
ඉතා හොඳින් දෑස් පෙනී දෑතේ මහන්සියෙන් පවුල සුරැකි සුභාෂිණි දියණියගේ පියා වන අජිත් වසන්ත මහතාගේ (50) දෑසම මීට වසර එකොළහකට පෙර සීයට අනූවකටත් වඩා නොපෙනී ගියේ ගසක් කැපීමට ගිය අවස්ථාවකදී එම ගසෙන් වෑහුණු කිරි ඇසට වැටීමෙන්ය. ඉන් පසුව අන්ද පුද්ගලයකු බවට පත්වූ ඔහුට කණවැල ඇල්ලුවේ බිරිඳ සහ දියණියන් දෙදෙනාය. බිරිඳ කියා දුන් ගීත බස් රථ වලට නැඟ ගයා ලැබෙන සොච්චම් මුදලින් ඔහු ඉතා අසීරුවෙන් තම දරු පවුල රැක්කේය . කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඔහුට එම රැකියාවද අහිමි විය. ඉන් පසුව ඔවුන් ජීවිතය ගෙවුවේ දහසකුත් එකක් අසීරුතා මධ්‍යයේය. මේ කනගාටුදායක පුවත දැන ගත් ගොතටුව සුවනෙත අක්ෂි රෝහල රුපියල් ලක්ෂ 20 කට අධික මුදලක් වැය කරවා කරවන ලද සැත්කමකින් සුභාෂිණි සිසුවියගේ දෙනෙත් අද පියාට මේ වනවිට නැවත පෙනීම ලබාදී ඇත. බදුල්ල මහ රෝහලේදී මෙම අක්ෂි සැත්කම සාර්ථකව සිදු කර ඔහුට පෙනීම ලබාදී තිබේ.
පසුගිය සතියේ කෙරුණ මේ සාර්ථක සැත්කමෙන් වසර එකොළහකට පසුව තම ආදරණීය දරුවන්ගේ බිරිඳගේ මුහුණු නිරෝගිමත් දෑසකින් දකින්නට තරම් වසන්ත මහතා වාසනාවන්තයෙක් විය. නොපෙනී ගිය දෑසේ පෙනුම සීයට අසූවකටත් වඩා ආපසු ලබා දීමට මේ සඳහා දායක වීමට උතුම් වෛද්‍යවරු සමත් වූහ. ඔහුට ඒ අපූරු වරම ලැබුණේ තම අවංක දියණිය නිසාය.
‘මගේ ඇස් දෙක දැන් සීයට අසූවකටත් වඩා පෙනෙනවා. මට හරිම සතුටුයි නැවත මගේ ඇස් දෙක පෙනීම ගැන. ඒ සතුට කියන්න මට වචන නැහැ. මම කවදාවත්ම හිතන්නේ නැහැ නැවත මගේ ඇස් දෙකේ පෙනීම ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ඒ වටිනා අවස්ථාව මට ලැබුණේ මගේ ලොකු දුව කරපු අවංක ක්‍රියාව නිසායි. දුව කරපු ඒ අවංක ක්රියාවේ පිනෙන් අද නැවත මගේ ඇස් දෙක පෙනෙන්න පටන් ගත්තා. මගේ ඇස් දෙක පෙනුම ලබා දීලා දුවත් විශාල පිනක් කරගෙන තිබෙනවා. ඒ සඳහා මට උපකාර කරපු වෛද්‍යතුමන්ලා ඇතුළු සියලුම දෙනාට මගේ ගෞරවය ස්තුතිය පුද කරනවා' යනුවෙන් සුභාෂිණි සිසුවියගේ පියා පැවසීය.
තම පාසලේ අධ්‍යාපනය ලබන සුභාෂිණ දියණිය කරන ලද මෙම ක්‍රියාව අගයමින් ඉබ්බාගමුව ආදර්ශ මහා විද්‍යාලයේ විදුහල්පතිනි කාන්ති රුකුණායක, නියෝජ්‍ය විදුහල්පති සරත් මුණසිංහ සහ සුභාෂිණිගේ පන්ති බාර ගුරුතුමිය වූ ෂකිලා මධුෂානී මහත්ම මහත්මීන් වගේම මේ කතාව දැන ගත් රට පුරා සිටින විශාල පිරිසක් සුභාෂිණ දියණියටත් ඇගේ පවුලටත් විවිධාකාරයෙන් උදවු උපකාර කීරීමට ඉදිරිපත් වී ඇත. මේ පිරිසට අමතරව ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුමිත් උඩුකුඹුර මහතා ඔවුන්ගේ නිවස ඉදිකර දීම සඳහාද දායකවී සිටින අතර දෑස් පෙනීම ලද සුභාෂිණිගේ පියාට ලොතරැයි ටිකට්පත් අලෙවි කර ආදායමක් ඉපැයීමට ඉබ්බාගමුව නගරයේ ලොතරැයි අලෙවි කුටියක් ලබා දීමට පියවර ගෙන ඇත.
මීට අමතරව වසන්ත මහතාගේ අසරණ තත්ත්වය තේරුම් ගෙන ඔවුන්ට වාසස්ථානයක් ඉදිකර ගැනීමට තම ඉඩමකින් නොමසුරුව පචස් ගණනාවක්ම පරිත්‍යග කළ වඩුපොළ එස්.බී.පියසේන මහතාට මෙන්ම නිවස ඉදිකිරීම සඳහා සහාය ලබා දෙමින් සිටින ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් වසන්තා වර්ණකුලසූරිය, වඩුපොළ ග්‍රාම නිලධාරි සුජාතා අමරසේකර, හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී රණවිරු හේරත් යන මහත්ම මහත්මීන්ටද සුභාෂිණීගේ පියා තුතිය පුද කළේය. ඔවුන්ට ඉදිවෙමින් පවතින නිවස මෙම මස 25 වැනිදා අංග සම්පූර්ණ කර ගෙවැදීමට නියමිතය. ඔවුන් දැනට වෙසෙන කුඩා පැලේ කිසිදු ගෘහ භාණ්ඩයක් නැත. මෙම ශල්‍යකර්ම සඳහා රුපියල් ලක්ෂ 20 අධික මුදලක් පරිත්‍යාග කර දායකත්වය ලබාදී ඇත්තේ ගොතටුව සුවනෙත අක්ෂි රෝහලයි.
(පුෂ්පකුමාර ජයරත්න හා අනුර ජයන්ත)
0 Comments